රුසියානු බාල ඖෂධ ගැන සුව ඇමති ජනපතිට නිදහසට කරුණු කියයි..!

Spread the love

වාර්තාව කියවා උත්තර දෙන්නම් යැයි ජනපති කියයි..!

කළුතර ආගමික උත්සවයකට ජනපතිට ඇරයුම් කෙරේ..!

GMOA එදිරිව GMOF ගොඩනගයි..!

“මෛත්‍රී-රාජිත” මුහුණට සාකච්ඡාව එළියට..!

(සුජිත් මංගල ද සිල්වා)

බාල වර්ගයේ පිළිකා ඖෂධ තොගයක් රුසියාවෙන් තමා ආනයනය කළ බවට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව මගින් අනාවරණය කරමින් තමාට එරෙහිව එල්ල කරන චෝදනාව පදනම් විරහිත යැයි සෞඛ්‍ය සහ පෝෂණ අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවේ ප්‍රකාශ කර ඇත.

>පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සහ රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය තමාට එරෙහිව එල්ල කරන මේ චෝදනාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හමුවේ නිදහසට කරුණු කියමින් දොස්තර රාජිත සේනාරත්න මහතා පෙන්වා දී ඇත්තේ මේ චෝදනාව තමා ඉලක්ක කර සැලසුම් සහගත ලෙස ක්‍රියාත්මක කෙරෙන කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බවය.

රාජිත සේනාරත්න මහතා මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවේ මෙසේ නිදහසට කරුණු කියා ඇත්තේ කැබිනට් මණ්ඩල රැස්වීමෙන් පසුව අඟහරුවාදා (29) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පෞද්ගලිකව ඔහු හමුවූ අවස්ථාවේදීය.

දොස්තර රාජිත සේනාරත්න මහතා, ජනාධිපතිවරයා මෙසේ හමු වූයේ කළුතර දිස්ත්‍රික්කයේ විහාරස්ථානයක ආගමික උත්සවයක් වෙනුවෙන් ඔහුට ආරාධනා කර ඒ සඳහා දිනයක් සහ වේලාවක් යොදා ගැනීමට අවශ්‍ය බව කියමිනි.

එම ආරාධනය පිළි ගෙන රාජිත සේනාරත්න මහතාට උත්සවය වෙනුවෙන් තමාට පැමිණිය හැකි දිනයක් සහ වේලාවක් ලබා දුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඔහුට කියා තිබෙන්නේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තාව කියවීමට තමාට තවම වේලාවක් නොලැබුණු අතර අදාළ වාර්තාව කියවා බලා මේ කාරණය සම්බන්ධයෙන් උත්තරයක් දෙන්නම් කියාය.

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තාව අනාවරණය කර සිටින්නේ සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ බලපෑම අනූව ජාතික ඖෂධ නියාමන අධිකාරිය “HERTICAD” යන වෙළඳ නාමයෙන් ද “TRASTUZMAB” යන විද්‍යාත්මක නාමයෙන් ද හැඳින්වෙන ඖෂධයක් ආනයනය කර ඇති අතර, එම ඖෂධය රුසියාවේ පිළිකා රෝගීන් හතළිස්‌ හතර දෙනෙකුට ලබා දීමෙන් පසු පස් දෙනෙකු ජීවිතක්ෂයට පත් ව ඇති බාල වර්ගයේ  ඖෂධ වර්ගයක් බවය.

>සාමාන්‍යයෙන් මෙවැනි ඖෂධයක් ආනයනය කරද්දී සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනයක් හරහා අනුමත සහතකියක් ලබා ගත යුතු නමුත් අදාළ ඖෂධයට අනුමත සහතිකය ගෙන ඇත්තේ ද  රුසියාවේ කර්මාන්ත සහ වාණිජ අමාත්‍යාංශය මගින් බව ද එම වාර්තාව පෙන්වා දෙයි.

ලොව පුරා ඇති තාක්ෂණික කමිටු ගණනාවකින් ප්‍රතික්ෂේප වී ඇති මේ ඖෂධය, කැබිනට් අනුමැතිය සහිත ටෙන්ඩරයක් යටතේ ආනයනය කර ඇතත් ඒ සඳහා වන තාක්ෂණික අනුමැතිය ලබා ගෙන ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දෙවන තාක්ෂණ අංශයක් මගිනි.

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) මේ කාරණයට අදාළව  තමාට එරෙහිව ගෙන යන ව්‍යාපාරයට එරෙහිව ගත යුතු සහ ගත හැකි  ඉදිරි පියවර සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ (GMOF) සභාපති  රුක්ෂාන් බෙල්ලන යන මහත්වරුන් අතර විශේෂ සාකච්ඡාවක් අඟහරුවාදා (29) රාත්‍රියේ පැවැත්විණ.

මේ සාකච්ඡාව පැවතියේ දොස්තර රුක්ෂාන් බෙල්ලන මහතාගේ නිවසේදී වන අතර දොස්තර රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් එහි විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් ද සූදානම් කර තිබිණ.

මේ සාකච්ඡාව අවසන් කර රාත්‍රී භෝජන ගැනීමෙන් පසුව රාජිත සේනාරත්න මහතා දොස්තර රුක්ෂාන් බෙල්ලන මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් සමග සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය.

මෙහිදී සාකච්ඡා වූයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය ගොඩනඟා ඉදිරියට ගැනීම පිළිබඳවය.

මේ අතර දොස්තර රාජිත සේනාරත්න මහතා සිය අභ්‍යන්තර කවයේ (INNER CIRCLE) සමීපතමයින් පිරිසක් සමග පවසා තිබෙන්නේ, උද්ගත වී තිබෙන සියලු තත්ත්වයන් හමුවේ කළ යුතුව තිබෙන්නේ, සිදු වන්නේ කුමක්ද යන්න පිළිබඳව අවධානයෙන් යුතුව නිහඬව බලා සිට, කරන්නේ කුමක් ද යන්න  ඊට පසුව තීරණය කළ යුතු බවය.

සෞඛ්‍ය සහ පෝෂණ අමාත්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා මේ දිනවල නිහඬව සිටින්නේ එම න්‍යායට අනුව බව ඔහුට සමීප ආරංචි මාර්ග “lankanewsweek” සමග පැවසීය.    

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*