රාජ්‍ය බැංකුවලින් කෝටි දෙදෙහසක ණය කෑ “CML WALKERS” සමාගම බංකොලොත් වෙයි..!

Spread the love

රට කැළඹු “මලික්-ජෙහාන්” කූට හවුලේ වැඩ කිඩ මෙන්න..!

රාජ්‍ය බැංකු අනතුරේ..!

ප්‍රශ්නය බරපතළ නැතැයි සජිත් ජෙහාන්ට කියලා..!

සමාගම විකුණන්න ගියාට ගන්න කවුරුත් නැහැලු..!

(සුජිත් මංගල ද සිල්වා)

උපාය මාර්ගික සංවර්ධන සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මිලක් සමරවික්‍රම මහතාගේ දේශපාලන බලය පාවිච්චි කරමින් මහා ජන බැංකුවෙන් රුපියල් කෝටි 100ක් ඇතුළුව රාජ්‍ය බැංකුවලින් රුපියල් කෝටි දෙදෙහසකට අධික අති විශාල ණය මුදලක් ලබා ගෙන සිටින “CML WALKERS PLC” සමාගම බංකොළොත් වී තිබේ.

මේ හේතුවෙන් මහා ජන බැංකුව ඇතුළු රාජ්‍ය බැංකුවල අභ්‍යන්තරයේ උග්‍ර අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇති අතර මේ තත්ත්වය හේතුවෙන්  ඉදිරියේදී  එම බැංකු විශාල මුල්‍ය අර්බුදයකට මුහුණ දෙනු ඇතැයි ආර්ථික සහ මුල්‍ය විශේෂඥයෝ පෙන්වා දෙති.

“CML WALKERS PLC” සමාගමේ බංකොලොත්භාවය මෙසේ හෙළි වූයේ, එම සමාගම භාර ගෙන තිබෙන මහ මාර්ග ඇතුළු ඉදිකිරීම් ව්‍යාපෘතිවලට අදාළව යළි ටෙන්ඩර් කැඳවීමේ අවශ්‍යතාවය පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අඟහරුවාදා (26) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී කරුණු මතු කෙරුණු අවස්ථාවේදීය.

කැබිනට් මණ්ඩලයේදී මේ ප්‍රශ්නය ඇදෙන විට උපාය මාර්ගික සංවර්ධන සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා නිරුත්තර වී තිබේ.

උද්ගත වී තිබෙන මුල්‍ය අර්බුදය හමුවේ “CML WALKERS PLC” සමගම විකුණා දැමීමට එම සමාගමේ මව් සමගම වන මැලේසියාවේ “CML-MTD CONSTRUCTIONS” සමාගම මේ වන විට තීරණය කර ඇත.

“CML WALKERS PLC” සමාගමේ විධායක නියෝජ්‍ය සභාපති ධූරය දරන්නේ මහ ජන බැංකුවේ හිටපු  අධ්‍යක්ෂකවරයකු  වන ජෙහාන් අමරතුංග මහතා වන අතර ඔහු සංවර්ධන උපාය මාර්ගික සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාගේ ව්‍යාපාරික සගයා ද වෙයි.

ජෙහාන් අමරතුංග මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල  ප්‍රධානී ගාමිණී සෙනරත් මහතාගේ සමීපතමයෙකු වන අතර වත්මන් ආණ්ඩුවේ නිවාස,ඉදිකිරීම් සහ සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ද හිතවතෙකි.

කැබිනට් මණ්ඩලයේදී මතු වූ මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ජෙහාන් අමරතුංග මහතා සජිත් ප්‍රේමදාස මහතාගෙන් කරුණු විමසා ඇති අතර, මේ ප්‍රශ්නයේ දිග පළල පිළිබඳව කිසිවක් නොදන්නා ඔහු ජෙහාන් අමරතුංග මහතාට දැනුම් දී තිබෙන්නේ මේ සිද්ධිය ඒ තරම් බරපතළ නොවන බවය.

මේ කාරණය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා “lankanewsweek” ජෙහාන් අමරතුංග මහතා දුරකතනයෙන් ඇමතු අවස්ථාවේදී,සජිත් ප්‍රේමදාස මහතා තමා සමග එවැනි ප්‍රකාශයක් කළ බව තහවුරු කළ අතර මැලේසියාවේ “CML-MTD CONSTRUCTIONS” මව් සමාගම  “CML WALKERS PLC” සමාගම විකුණා දැමීමට යන බව ද පිළි ගත්තේය.

එමෙන්ම රජයෙන් ලැබීමට තිබෙන මුදල් ද ලැබුණොත් මේ මේ ප්‍රශ්නය ඉතා ඉකමනින් විසඳා ගැනීමට හැකි වනු ඇතැයි ද ඔහු විශ්වාසය පළ කළේය.

ජෙහාන් අමරතුංග මහතා,මලික් සමරවික්‍රම මහතාගේ දේශපාලන බලය ද,මහ ජන බැංකුවේ අධ්‍යක්ෂකවරයෙකු ලෙස සිය හයිය ද පාවිච්චි කරමින්  “CML WALKERS PLC” සමාගම වෙනුවෙන් රාජ්‍ය බැංකුවලින් රුපියල් කෝටි ගණන් මුදල්  මෙසේ අසීමිත ලෙස ණයට ගැනීම කාලයක් මුළුල්ලේ රටේ ආන්දෝලනයට තුඩු දී තිබූ අතර මේ පිළිබඳව මුලින්ම රටට ජනාතවට තොරතුරු හෙළිදරව් කරමින් මේ ක්‍රියාදාමයේ තිබෙන අනතුරුදායක තත්ත්වය පෙන්වා දුන්නේ “lankanewsweek” කණ්ඩායමය.

ඒ සමගම මේ පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ද අවදානය යොමු වූ අතර  “CML WALKERS PLC” සමාගම සම්බන්ධයෙන් එහි මව්  සමාගම වන මැලේසියාවේ “CML-MTD CONSTRUCTIONS” සමාගම විශේෂ විගණනයක් ද  ආරම්භ කළේය.

“CML-MTD CONSTRUCTIONS” සමාගම එම විශේෂ විගණනය ආරම්භ කළේ, “CML WALKERS PLC” සමාගම මහ ජන බැංකුව ඇතුළු රාජ්‍ය බැංකුවලින්  එවැනි අති විශාල මුදලක් ණයට ගැනීම රටේ ආන්දෝලනයට ලක්ව තිබීම සහ CML WALKERS PLC” සමාගමේ බලධාරීන් සිදු කර ඇතැයි කියන දුෂණ,වංචා සහ අක්‍රමිකතාවලට අදාළවය.

CML WALKERS PLC” සමාගමේ, ජෙහාන් අමරතුංග මහතා ඇතුළු බලධාරීන් විවිධ පුද්ගලයින්ට කාලයක් මුළුල්ලේ රුපියල් ලක්ෂ ගණනින් මුදල් ගෙවා එම ගෙවීම් කොමිස් මුදල් ලෙස ගිණුම් ගත කර ඇති බව එම විගණනය මගින්  හෙළිදරව් වී තිබිණ.

එම මුදල් කිනම් පදනමක් යටතේ කුමන හේතුවක් නිසා කිනම් පුද්ගලයින්ට ලබා දුනේ දැයි මැලේසියානු බලධාරීහූ CML WALKERS PLC” සමාගමේ ජෙහාන් අමරතුංග මහතා ඇතුළු දේශීය බලධාරීන්ගෙන් බරපතළ ලෙස ප්‍රශ්න කර තිබූ අතර ජෙහාන් අමරතුංග මහතා,මලික් සමරවික්‍රම මහතා සමග එක්ව සිදු කරන මේ අයථා ක්‍රියාවන්ට එරෙහිව එම සමාගමේ  ප්‍රධාන විධායක නිලධාරියා සහ ගණකාධිකාරීවරයා ද ඉල්ලා අස්විය.

මේ පසුබිම යටතේ  CML WALKERS PLC” සමාගම වෙනුවෙන් මුල්‍ය ගනුදෙනු කිරීම,ඒ සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීම සහ චෙක් පත් සඳහා අත්සන් කිරීම ජෙහාන් අමරතුංග මහතාට තහනම් කිරීමට  “CML-MTD CONSTRUCTIONS” මව්  සමාගම මගින් පියවර ගැනිණ.

උද්ගත වී තිබෙන තත්ත්වය හමුවේ අතිශය කලකිරීමට සහ අපකීර්තියට පත්ව සිටින ජෙහාන් අමරතුංග මහතා ඔහුගේ සමීපතමයින් සමග පවසා තිබෙන්නේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන් තමාගෙන් මුදල් ඉල්ලා ගැනීම ඇතුළු ප්‍රයෝජන රැසක් ගත්තත් සිය සමාගමේ ව්‍යපෘති වෙනුවෙන් ආණ්ඩුවෙන් ලැබීමට තිබෙන මුදල් ලබා ගැනීමට තමාට උදව් නොකළ බවය.

තමා කළ ලොකුම මෝඩකම ඉල්ලන ඉල්ලන සැරේට ඒ අයට සල්ලි ලබාදීම යැයි ද ඔහු සිය සමීපතමයින් සමග වැඩි දුරටත් පවසා ඇත.

CML WALKERS PLC” සමාගම මහින්ද රාජපක්ෂ පාලන කාලයේ සිට මේ දක්වා වූ කාලය ඇතුළතදී මහ ජන බැංකුව ඇතුළු රාජ්‍ය බැංකුවලින් රුපියල් කෝටි 5000 ඉක්මවූ අති විශාල මුදලක් ණය ලෙස ලබා ගෙන ඇති බව මේ වන විට හෙළිදරව් වී තිබේ.

මලික් සමරවික්‍රම මහතා ද තිරය පිටු පස  ප්‍රධාන කොටස්කරුවකු වන “CML WALKERS PLC” යනු මධ්‍යම අධිවේගී මාර්ගයේ කොටසක් ඇතුළු රට පුරා  මහ මාර්ග සහ අනෙකුත්  ඉදිකිරීම් කොන්ත්‍රාත් ගණනාවක් ලබා ගෙන සිටින මැලේසියාවේ “CML-MTD CONSTRUCTIONS” සමාගමේ ප්‍රධානතම දේශීය කොටස්කරුය.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*