රනිල් කකුලෙන් ඇද්දා නම් ඇලෝසියස් හිරේ යයි ද..?

Spread the love

පොලිසියත් තියා ගෙන අල්ලන් නැත්තේ ඇයි..!

මෛත්‍රී කතා කරන්නේ ගැලරියටද..!

(උපුල් ජෝශප් ප්‍රනාන්දු)

මෛත්‍රීපාල සිරිසේන 2017 ජනවාරි 25 නාරාහේන්පිට අභයාරාමයේදී අපවත් වූ බෙල්ලන්විල විමලරතන නායක හිමියන්ගේ ප්‍රශ්නයකට උත්තරයක් දෙමින් අපූරු කතාවක් කළේය. පහත දැක්වෙන්නේ එම කතාවය.

“බෙල්ලන්විල නායක හාමුදුරුවනේ අවසරයි.කොමිෂන් බොරුවක් කියල හිටන් ඔබ වහන්සේ සඳහන් කළා. සමාවෙන්න ඕනෙ මම මේකට උත්තර දීම ගැන. මේ රටේ ඉන්න ඉහළම නීති විශාරදයන්ගෙන් උපදෙස් අරගෙන තමයි මම කොමිෂන් සභාව පත් කළේ.කොමිෂන් සභාවක් පත් කරන්නේ නැතිව ඉන් භාහිර කරන පරීක්ෂණ අවුරුදු දෙක තුනක් ඇදෙන්න පුළුවන්. ඒක තමයි ඇත්ත තත්ත්වය.

ඒ වාර්තාව ඊයේ පාර්ලිමේන්තුවේ සම්මත වෙන්න කලින් අග්‍රාමාත්‍ය කාර්යාලය ඒ වාර්තාව නීතිපතිවරයාට යවල එතැනින් පොලිස්පතිවරයාට යවලා තියනවා පරීක්ෂණ සඳහා.මම ඒ ගැන සොයා බැලුවා. මේ වන විටත් ඒ පැත්තෙන් තීන්දුවෙලා තියෙන්නේ අපරාධ පිලිබඳ කරන පරීක්ෂණයක් අකාරයෙන් නෙවෙයි. සාමානයෙන් සිවිල් කටයුත්තක් සම්බන්ධයෙන් කරන පරීක්ෂණ විදිහට තමයි මේක කරන්න පුළුවන් කියලා. මම එකට එකඟ වෙන්නේ නැහැ. හරියට කරන්නයි මට අවශ්‍ය. මම ඒක පැහැදිලිව රටට කියනවා.

මේ කටයුත්තේදී වැරැද්ද හොයාගෙන එතැනට නඩුව පවරන්න හරියට නිතිය ක්‍රියාත්මක වෙන්න මේ වැඩේ හරියට කරන්න ඕනේ නිසා තමයි මම ජනාධිපති කොමිෂම පත් කළේ. බැඳුම්කර සිද්ධියේ අවුරුදු දෙකේ ප්‍රශ්නය තමයි ඇදුණේ එළියට.හැබැයි පසුගිය අවුරුදු හත අටක ඒවා තියෙනවා. මේ අවුරුදු දෙකේ කාරණාවේ පරීක්ෂණය අවසන් වුණාට පස්සේ පසුගුය අවුරුදු හත අටක කාලයේ සිද්ධ වෙලා තියෙන මේ ක්‍රීඩාවටත් මම කොමිෂමක් පත් කරලා ඒ වඩාත් පටන් ගන්නවා කියලා මම පැහැදිලිව කියනවා..” 25-01-2017

මේ මෛත්‍රීපාල සිරිසේන බැඳුම්කර කොමිෂම පත්කරලා බොහොම සැරෙන් කි කතාවය.

ඒ කතාව කරලා මේ ජනවාරියට හරියටම වසර දෙකකි. පසුගියදා ඔහු බැඳුම්කරය ගැන තවත් අපුරු කතාවක් කිවේය.ඔහු කිවේ බැඳුම්කර හොරුන්ට දඩුවම් දීමට නොහැකි වුයේ ආණ්ඩුව ඔහුගේ කකුලෙන් ඇද්ද නිසා යැයි කියාය. ඔහු නොකියා කිවේ රනිල් බැඳුම්කර හොරුන්ට දඩුවම් දන්නා ඉඩ නොදී තමාගේ කකුලෙන් ඇද්ද බවය.

“ඇත්තද ඒ කතාව..?”

බැඳුම්කර කොමිසම බැඳුම්කර චෝදනාව විභාග කරද්දී පොලිසිය තිබුනේ රනිල්ගේ කාර්යාල මණ්ඩල ප්‍රධානි සාගල යටතේය. කොමිසම් විභගය මුල් කාලයේ නීතිපති දෙපාර්තමේන්තුව විජේදාස රාජපක්ෂ යටතේ තිබුණත් පසුව එය එජාප ඇමතිවරියක් වූ තලතා යටතට පත් විය. කොමිසම් විභාගය අතර තුර නීතිපති දෙපාර්තමේන්තුව සහ පොලිසිය අර්ජුන් මහේන්ද්‍රන්, අර්ජුන් ඇලෝසියස් සහ ඔහුගේ බිරිය, ඔහුගේ කාරය මණ්ඩලය පිටුපස පැන්නුවේ කොටි ත්‍රස්තවාදීන් පිටුපස පන්නපු අකාරයටමය. හිටි හැටියේ පොලිසිය ඔහුගේ නිවෙස, කාර්යාලයට කඩාවැදී අස්සක් මුල්ලක් නෑර සෝදිසි කළහ. ජංගම දුරකතන රැගෙන ගියහ. ලිපි ලේකන රැගෙන ගියහ. ඔහු පිටුපස ඔත්තු සේවා යෙදවිය. එකල ඔහුගේ කාර්යාල සේවකයන් පවුලේ සාමාජිකයන් සිටියේ ප්‍රභාකරන් ඝාතනය වූ පසු පන බේරා ගන්න දත කාපු එල්.ටි.ටි.ඊ.සාමාජිකයන් මෙන් මර බියෙනි.

එයට හොදම නිදසුන ඔහුගේ නීතීඥයන්ට නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරින් අඩම්තේට්ටම් සහ තර්ජන කරනවා කියා ඔවුන්ට එරෙහිව එම නීතීඥයන් නීතියේ පිහිට පතපු අකාරයය. එසේම බැඳුම්කර කොමිසමේ සාක්ෂි විභාගය සඳහා ප්‍රශ්න කිරීම්වලට ලක්වූ මහා බැංකු නිලධාරියෙක් වූ පද්මනාදන් නීතිපති දෙපාර්තමේන්තුවට සහ පොලිසියට එරෙහිව මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේ ප්‍රශ්න කිරීම්වලදී ඔහුට දුන්න පීඩනය, තර්ජන දරාගත නොහැකි යැයි කියමින්ය. ඇතැම් සාක්ෂිකරුවන් පීඩනය දරාගත නොහැකිව රෝහල් ගත වූ විට බලපෑම් හේතුකොට රෝහල්වලින් ඔවුන්ව පිටමං කර තිබිණි.

මේ විදිහට නීතිපති දෙපාර්තමේන්තුව සහ පොලිසිය බැඳුම්කර කොමිසමේ කටයුතු කළ ආකාරය හරිය. හරකම් හොයන්න ඕනෑ එහෙමය. හැබැයි ප්‍රශ්නය රනිල් කකුලෙන් අද්දා නම් අර්ජුන් මහේන්ද්‍රන්, ඇලෝසියස් ඔහුගේ පවුලේ සහ කාර්ය මණ්ඩල සේවකයන් පසුපස නීතිපති දෙපාර්තමේන්තුව සහ පොලිසිය පැන්නුවේ කෙසේද යන්නය. අර්ජුනලාට පවුලට සේවකයන්ට හිරිහැර කරන්න එපා යැයි පොලිසියට කියන්න යැයි රනිල් සාගලට කිවා නම් සාගල ඒ වැඩේ අකුරට කරනවාට සැක නැත. සාගලට පොලිසිය භාර ඇමති ලෙස එහෙම බලයක් තිබිණි. වරක් ඔහු නිලමේ කෙනෙක් අත්අඩංගුවට නොගන්නා ලෙස පොලිස්පතිට දුරකතනයෙන් උපදෙස් දෙනවා රුපවාහිනිය හරහා රටම දැකබලා ගත්තේය. පොලිස්පති ඔහුගේ පිලිපැද්දේය. ඉතින් අර්ජුනලාට හිරිහැර කරන්න එපා යැයි සාගල කිවා නම් පොලිසිය එය අකුරට පිළිපදීය. හැබැයි සාගල එහෙම කිවේ නැත.

මහින්දගේ හිටපු කාර්යාල ප්‍රධානි ගාමිණි සෙනරත්ව අත්අඩංගුවට නොගෙන සඟවා ගෙන ඉන්නේ සාගල යයි වරක් මෛත්‍රීපාල සිරිසේන ම කිවේය.

“ඉතින් රනිල් බැඳුම්කරයයට ගැහුවා නම් ඇයි සාගලට අර්ජුනව හංගගෙන ඉන්න බැරි වුණේ..” කට ගියත් අහන්න ඕනා කතාව ඒකය. නීතිපති දෙපාර්තමේන්තුව බන්දුම්කරය යට ගහන්න යයි රනිල් තලතාට උපදෙස් දුන්නේ නැත.

ඇත්තටම බැඳුම්කර කොමිසම හමුවේ තමාටත් පවුලටත් සේවකයන්ටත් මුහුණපාන සිදු වී ඇති කරදර හිරිහැරවලින් බේරන්න ඇලෝසියස් පිහිට පැතුවේ මහින්දගේ නීතීඥයන්ගෙන්ය. අර්ජුන වෙනුවෙන් කතාකළේ ස්වාධීන රුපවාහිනියේ ජනාධිපතිවරණ දැන්වීම් පළකිරීම සම්බන්ධයෙන් මහින්ද චෝදනා ලද විට මහින්ද වෙනුවෙන් කතා කළ නීතීඥ ගාමිණි මාරපනය. මහින්ද සහ පවුලට එරෙහි නඩු වෙනුවෙන් පෙනී සිටින නීතීඥයනය.අර්ජුන ඇලෝසියස් ඔවුන්ගේ පිහිට පැතුවේ මහින්දට සහ පවුලට මෙන් තමන්ටත් රනිල්ගේ ආණ්ඩුවෙන් පිහිටක් නැති බව දැනගෙනය.

අන්තිමේදී රනිල්ගේ ලඟම දේශාපලන සගයෙකු වූ රවිත් කොමිසමට ගියේය. ඔහු ගියේ විදේශ ඇමැති ලෙසය. රනිල්ගේ සමීපතම මිතුරකු වූ විදේශ ආයෝජන ඇමැති මලික් සේම පක්ෂ මහා ලේකම් කබිර්ද කොමිසමට ගියහ.අන්තිමට රනිල්ද ගියේය.

ලංකාවේ පමණක් නොව ලෝකයේ කොහෙවත් අගමැතිවරයෙකු මැති ඇමතිවරු තමන්ට එරෙහි කොමිසම්වලට පොලිසියේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ සහය ලබා දී ඒ කොමිසම්වල සාක්ෂි දෙන්න කොමිසම් ගානේ යන්නේ නැත. එත් ඔවුහු ගියහ. අන්තිමේදී අර්ජුන ඇලෝසියස් වසරකට ආසන්න කාලයක් හිරෙත් ගියේය. බන්ධනාගාර ඇමැති එජාපයේ වුණත් රනිල් අලෝසියස්ට බන්ධනාගාර රෝහලේ ඉන්න අවස්තාව දුන්නේ නැත. ඔහු සිටියේ සිර මැදිරියකය.

” හැබැයි ඇයි රනිල් අර්ජුන් මහේන්ද්‍රන්ව කුදලාගෙන එන්නේ නැත්තේ..?

රනිල් අර්ජුන් මහේන්ද්‍රන්ව කුදලාගෙන එන්න කලින් මෛත්‍රී උදයංග වීරතුංගව කුදලාගෙන ආ යුතුය. ජනාධිපති නිල කාලය අවසන් වෙන්න ආසන්න වෙලාවේ මෛත්‍රීට මිග් යානා ගනුදෙනුවට චෝදනා ලැබ සිටින උදයංගව ගෙන්වා ගත නිහකිව සිටි. හේතුව චෝදනා ලැබ සිටින උදයංගව ගෙන්වා ගත නොහැකිව සිටි. හේතුව චෝදනා ගොනු කරන තෙක් ඔහුව ලංකාවට භාරදීමට ඒ රටවල් සුදානම් නැති නිසාය.

සිංගප්පූරු ආණ්ඩුව මහේන්ද්‍රන් සම්බන්ධයෙන් කියන්නෙත් චෝදනා ගොනු කරලා පෙන්වන්න කියාය. අද ඩුබායිහි අත්අඩංගුවට පත් කුඩු රජා මධුශ්ගෙන් ප්‍රශ්න කරන්නවත් ලංකාවේ පොලිසියට ඩුබායි ආණ්ඩුව ඉඩ නොදෙයි.

ඉතින් අර්ජුන් මහේන්ද්‍රන්ලා, උදයංගලා කුදලාගෙන එන්නේ කෙසේද? මහේන්ද්‍රන් ව ගේන්න යනකොට කකුලෙන් අදින්න්නේ රනිල් නම් අගමැති ධුරයෙන් ඉවත් කොට තිබු මාස කිහිපයේ මෛත්‍රීට පොලිසිය, විදේශ ඇමති ධුරය,නීතිපති දෙපාර්තමේන්තුව යන හැම ආයතනයතනයේම බලය සහ පාලනය තිබිණි. ඉතින් මෛත්‍රීට ඒ වෙලාවේ මහේන්ද්‍රන්ව කුදලාගෙන එන්න කාලය හොදටම ඇතිය.

අනෙක මෛත්‍රී ඔක්තෝබර් 26ට පසු යළි රනිල් අගමැති ධුරයේ දිවුරුම් දෙද්දී බැඳුම්කර කොමිසමේ සාක්ෂිවලින් චුදිතයන්ට නඩු දමන්න හැකි වන ලෙස සකස් කළ ජනාධිපති කොමිසම් සංශෝධන පනත සම්මත කර ගන්න නොදී රනිල් කකුලෙන් අදිනවා යැයි කිවේය. එම පනත ජනවාරියේ සම්මත වුයේ රනිල්ගේ උපදෙස් මතය. බැඳුම්කර පාඩුව ගණනය කරන්න වෝහාරික විගණනයක් කිරීම සඳහා ද මෛත්‍රී ඉදිරිපත් කළ ජෝජනාවට රනිල් අනුමැතිය දුන්නේය.

” එහෙනම් මෛත්‍රී මේ කතා කියන්නේ ගැලරියට ද..?”

පෙන්නේ නම් ඒ වගේය. මෛත්‍රී එදා අභයාරාමයේදී රනිල්ගේ ආණ්ඩුවේ බැඳුම්කර හොරකම කළේ අවුරුදු දෙකයි කිවේය.මහින්දගේ ආණ්ඩු කාලයේ මේ හොරකම අවුරුදු 7ක් 8ක් කළා කිවේය. ඒක හොයන්න ජනාධිපති කොමිසමක් ද පත් කරන බව කිවේය. කොමිසමක් නම් පත් වුයේ නැත. හැබැයි ඒ අවුරුදු හත අටේ මුදල් ඇමැති හොර පාරෙන් අගමැති විය.

-මව් රට-

-ගුරුදා විග්‍රහය-

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*