“රට එක්ක දේශපාලනය නොකරනු- ජාතික ආරක්ෂාවේ වගකීම ෆීල්ඩ් මාර්ෂල්ට පවරනු”

Spread the love

විදුලි බල මණ්ඩලයේ ජෙනරේටර් ගනු දෙනුව ගැන විදුලි බල ඇමති අවදානයෙන්..!

(නිලන්ති මානෙල්)

රට-ජනතාව එක්ක දේශපාලනය නොකර මේ මොහොතේ කළ යුත්තේ සියලු දෙනාම එකට එක්ව ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේ වගකීම ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට පැවරීම යැයි එක්සත් ජාතික පක්ෂයේ උප නායක,විදුලි බල,බල ශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කර සිටියි.

ඔහු මේ බව පැවසුවේ මාස කිහිපයකට පෙර ලංකා විදුලිබල මණ්ඩලය මගින්  ආනයනය කෙරුණු ජෙනරේටර් තොගයක්, විවිධ ස්ථානයන්හි ක්‍රියා විරහිත තත්ත්වයෙන් තිබෙන බවට පැතිර ගිය ආරංචිය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා  ලංකා විදුලිබල මණ්ඩලයට අයත් කොළොන්නාව පද්ධති පාලන ඒකකයේ සහ  ග්‍රිඩ් උප පොළවල නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් පසුව ජන මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ රවී කරුණානායක මහතා මෙසේ ද කීය.

“වසර ගණනාවක් පැවති විශාල යුද්ධයක් අවසන් කිරීමට තරම් දක්ෂ වූ සෙන්පතියෙක් වන ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ ඒ දක්ෂතාවය  අපේ රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් යළි  උපයෝගී කර ගන්න කියලා  එක්සත් ජාතික පක්ෂයේ අප ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන්  ඉල්ලීමක් කරලා තිබෙනවා.කෙසේ නමුත් ඒ සම්බන්ධයෙන් අපට එතුමාගෙන් තවමත් ප්‍රතිචාරයක් ලැබිලා නැහැ.

මේ රටේ සෑම ස්ථානයකම  සාමය තිබීම අත්‍යාවශ්‍යයි. කිසිම කෙනෙක් බියෙන් ජීවත් විය යුතු නැහැ. රටේ සෑම දෙනාටම මේ රටේ සෑම බිම් අගලකටම අයිතියක් තිබෙනවා නම්, ඒ සදහා ආරක්ෂාව සැපයීමත් රජයක් වශයෙන් අප සතු කාර්යභාරයක් වෙනවා.

මේ රට රැක ගැනීමේ වගකීම,යුතුකම සහ කාර්ය භාරය අප සියලු දෙනාම භාර ගත යුතුයි. රටේ ජාතික ආරක්ෂාව රැක ගත යුතුයි. මේ අවස්ථාවේ අවශ්‍ය වන්නේ දේශපාලනය කිරීම නොව රටේ ආරක්ෂාව, ස්ථාවර කර ගැනීමයි.

ආරක්ෂාව සම්බන්ධයෙන් අප රටේ ජනතාව අතර  විශ්වාසයක් ගොඩනැගිය යුතුයි. මේ රටේ ප්‍රධාන භාෂාවන් දෙකයි තිබෙන්නේ. ඒ සිංහල සහ දෙමළ.  ඉංග්‍රීසි භාෂාව අප පාවිච්චි කරන්නේ සම්බන්ධීකරණ භාෂාවක් හැටියටයි.

ඒ හැරුණාම මේ රටේ  නොයෙක් ස්ථානවල තවත් විවිධ භාෂාවනුත් තිබෙනවා කියලා දැන ගන්න ලැබෙනවා. ඒ තත්ත්වය විහිළුවක්.  අන්න ඒ විහිළුව අප නැවැත් විය යුතුයි.

ලංකා විදුලි බල මණ්ඩලය මගින් පසු ගිය දිනවල ආනයනය කෙරුණු  ජෙනරේටර් වැඩ කරන්නේ නැහැ කියලා පැමිණිල්ලක් තිබුණා.මේ ජෙනරේටර් ගෙනල්ලා මේ වන විට මාස තුනක් පමණ වෙනවා.

දැනට කොළාන්නාවේ තිබෙන ජෙනරේටර් 20 න් ජෙනරේටර් 02 ක් වැඩ නොකරන තත්ත්වයකට පත් වෙලා. ඒ ගැන අප සොයා බැලිය යුතුයි. මෙම ජෙනරේටර් ගෙනැවිත් තිබෙන්නේ ජාතික විදුලි බල පද්ධතියට යම් අවස්ථාවක විදුලිය අඩුවීමක් සිදු වුණෝත් පාවච්චි කිරීමට විනා සථිරසාර ජනනය කිරීමක් සදහා නොවෙයි.

මේ ආකාරයෙන් ආනයනය කළ ජෙනරේටර් 50 න් 10 ක් තුල්හිරියේ ද, තවත් 20 ක් කළුතර සහ මතුගම යන ස්ථානවල ද තිබෙනවා. ඒ ජෙනරේටර්  වැඩ කරන ආකාරය ගැනත්  අප සොයා බලනවා.

විශාල වටිනාකමකින් යුත් මෙවැනි ජෙනරේටර් මිලදී ගැනීමකදි, ඒ පිළිබදව හොදින් සොයා බලා තත්ත්ව සහතික පරීක්ෂා කිරීමෙන් පසුව තමයි මිලදී ගත යුත්තේ.

සාමාන්‍යයෙන් විදුලි බල මණ්ඩලය යම් මිලදී ගැනීමක් සිදු කිරීමේදී විශාල කාර්ය ජාලයක් යටතේ තමයි එම මිලදී ගැනීම කළ යුත්තේ. මේ පිළිබදව නොයෙක් දෙනා විවිධ අදහස් පළ කරනවා. ඒ නිසා මෙම ජෙනරේටර් මිලදී ගත් ක්‍රියා පිළිවෙත ගැනත්  මා ඉදිරියේදී සොයා බලන්නවා.

රටේ ආරක්ෂක තත්ත්වය ගැන කතා කරද්දි,සැබැ තත්ත්වය සහ කට කතා ලෙස තත්ත්වයන් දෙකක් තිබෙන බව මුලින්ම කියන්න ඕනෑ. ඒ නිසා අප නිරන්තරයෙන් සැබෑ තත්ත්වය අවබෝධ කර ගත යුතුයි.

මේ වන විට අපේ ආරක්ෂක අංශ  රටේ සමස්ත ජනතාවගේ ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් කැපවි කටයුතු කරනවා. ආරක්ෂක අංශවල ඒ කැපවීම මත, ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් වග කිව යුතු පිරිස් බෙහෝමයක් හදුනා ගැනීමට සහ අත්අඩංගුවට ගැනීමට  අද වන විට ඒ අයට  හැකිවී තිබෙනවා. 

අපේ පාසල් දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙනුත් අප ආරක්ෂක අංශයන් සමග එකමුතුව, ඔවුන්ට සහයෝගය ලබාදෙමින් කැපවීමෙන් කටයුතු කළ යුතුයි.”

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*