මහ නුවර “ගැරිසන්” සුසානයේ පුරාණය..!

Spread the love

ඉංග්‍රීසි ප්‍රභූන් සහ ද්‍රෝහීන් රැසක් එකම තැන මිහිදන් කෙරේ..!

(රංජිත් ගුණවර්ධන)

1815 වසරේ දී බි‍්‍රතාන්‍යයන් කන්ද උඩරට රාජධානිය යටත් කර ගැනීමෙන් අනතුරුව ශී‍්‍ර දළඳා මාළිගාව ආසන්නයේ ම ශාන්ත පාවුළු දේවස්ථානය ඉදිකරනු ලැබීය. දේවස්ථානයට අයත් සොහොන් භූමිය ලෙස ශාන්ත පාවුළු පල්ලියේ අධිපතියන් තෝරා ගනු ලැබුවේ ශී‍්‍ර දළඳා මාළිගාවට ඉහළින් පිහිටි උඩවත්ත කැලේ වන රක්ෂිතයේ භූමියකි. 1822 දී ඇරඹී ගැරිසන් සොහොන් බිම බි‍්‍රතාන්‍ය ජාතික එවකට ප‍්‍රභූන් රැසක් මිහිදන් කොට ඇති ශී‍්‍ර ලංකාවේ පිහිටි ඓතිහාසික ස්ථානයකි.

බි‍්‍රතාන්‍ය ජාතිකයන් 400 කට ආසන්න ප‍්‍රමාණයක් මිහිදන් කිරීම

මහනුවර පිහිටි ගැරිසන් සොහොන් බිමේ බි‍්‍රතාන්‍ය ජාතිකයන් 400 දෙනෙකුට ආසන්න පිරිසක් මිහිදන් කළ හැකි බවට තොරතුරු ලැබී ඇතත් මෑතක දී කළ සමීක්ෂණයක දී සොයාගෙන ඇත්තේ සොහොන් කොත් 103කට ආසන්න ප‍්‍රමාණයකි. දශක 1 1/2කට ආසන්න කාලයක් ඝන කැලෑවෙන් වැසී නටඹුන්ව පැවැති ගැරිසන් සොහොන් බිම යළි ප‍්‍රතිසංස්කරණය කොට ඇත්තේ 1997 වසරේ දී ය.

චාල්ස් කුමරුගේ ශී‍්‍ර ලංකා සංචාරය

1997 වසරේ දී මෙරට සංචාරයක නියැළුණු චාල්ස් කුමරු මහනුවර පිහිටි බි‍්‍රතාන්‍යය ප‍්‍රභූන් මිහිදන් කළ ගැරිසන් සොහොන් බිම ද නැරඹීමට පැමිණෙන බව දැනුම් දීමෙන් අනතුරුව යළි ප‍්‍රතිසංස්කරණය කරනු ලැබූ මෙම සොහොන් බිම චාල්ස් කුමරුට නැරඹීම සඳහා වරම් නොලැබුණේ ඔහුගේ ආරක්ෂකයන් ආරක්‍ෂක හේතුන් මත එම සොහොන් බිම නැරඹීමට නොයන ලෙසට ලබා දුන් උපදෙස් නිසා ය.

චාල්ස් කුමරුගේ ශී‍්‍ර ලංකා සංචාරය සිදු කළ 1997 වසරේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් ශී‍්‍ර දළඳා මාළිගාවට එල්ල කරනු ලැබූ බෝම්බ ප‍්‍රහාරය නිසා මහනුවර ම කැලඹී තිබූ නිසා එම අවසරය ඔහුට ලබා නොදුන් ආරක්ෂකයින් පිරිස් චාල්ස් කුමරු පේරාදෙණිය උද්භිද උද්‍යානය නැරඹීම සඳහා පමණක් කැඳවාගෙන ගොස් ආපසු පිටත් කර හැර තිබූ අතර චාල්ස් කුමරු ගැරිසන් සොහොන් බිමට අපේක්ෂා කළ පරිදි නොපැමිණෙන බව සඳහන් කරමින් සොහොන් බිමේ භාරකරු වෙත යොමු කරන ලද ලිපිය සොහොන් බිමේ පිහිටුවා ඇති කුඩා කෞතුකාගාරයේ රාමු කොට තබා තිබෙනු දැකිය හැකිය.

ශාන්ත පාවුළු දේවස්ථානය විසින් ගැරිසන් සොහොන් බිම නඩත්තු නොකිරීම

ශාන්ත පාවුළු දේවස්ථානයට අයත් ගැරිසන් සොහොන් බිම නඩත්තු කිරීම සඳහා ගෙවීම් කිරීමේ දී සිදු වූ ප‍්‍රශ්නයක් මත සොහොන් බිම නඩත්තු කිරීම් අත්හැර දැමීම නිසා කාලයාගේ ඇවෑමෙන් සොහොන් බිම වල් වැදී නටඹුන් වී තිබේ. එම තත්ත්වය මත සොහොන් බිමේ ප‍්‍රතිසංස්කරණ කටයුතු සිදු කළ බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය ගැරිසන් සොහොන් බිමේ භාරකාරත්වය බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයටම පවරාගෙන ඇත්තේ ඉන් අනතුරුව ය.

ගැරිසන් සොහොන් බිමේ ප‍්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීම

ගැරිසන් සොහොන් බිමේ නඩත්තු කිරීම් නතර වීමත් සමඟ එම සොහොන් බිම සම්පූර්ණයෙන්ම ඝන කැලෑවෙන් වැසී ගොස් තිබේ. අනතුරුව එහි තිබූ බි‍්‍රතාන්‍යය ප‍්‍රභූන් මිහිදන් කළ සොහොන් කොත් පස්වලින් යට වූ අතර පස්වලින් වැසී තිබූ සොහොන් කොත් මතු කරගැනීම සඳහා දෛනිකව කම්කරුවන් 20 දෙනෙකු පමණ යෙදවීමට ද සිදු වී තිබේ. ගැරිසන් සොහොන් බිමේ ප‍්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමට වසරකට ආසන්න කාලයක් ගත වී ඇති අතර සොහොන් කොත් වැසී තිබූ පස් ඉවත් කොට ඇත්තේ ඉතා අපහසුවෙනි. බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් කාර්යාල ආරංචි මාර්ගවලට අනුව පස් පිර වූ ලොරි රථ 45කට ආසන්න ප‍්‍රමාණයක පස් ගැරිසන් සොහොන් බිමේ පිහිටි සොහොන් කොත් මතු කරගැනීම සඳහා ඉවත් කිරීමට සිදු වී තිබේ.

ගැරිසන් සොහොන් බිම නැරඹීම සඳහා විදේශිකයන් නොපැමිණීම

මහනුවර පිහිටි ගැරිසන් සොහොන් බිම නැරඹීම සඳහා අවස්ථාව සලසා දී ඇත්තේ නොමිලේ ය. එම තත්ත්වය යටතේ විදේශීය සංචාරයකයන් එම සොහොන් බිම නැරඹීම සඳහා කැඳවාගෙන ඒමට සංචාරක මඟ පෙන්වන්නන් කටයුතු නොකරති. කෙසේ වෙතත් දෙස් විදෙස් සංචාරකයින් දෛනිකව දහයටත් – විස්සටත් අතර පිරිසක් සොහොන් බිම නැරඹීම සඳහා පැමිණෙන අතර සොහොන් බිම නැරඹීමට පැමිණෙන ඇතැම් විදේශිකයන් සොහොන් කොත් ඉදිරියේ ඉටි පන්දම් දල්වා මල් කිනිත්තක් තබා යාඥා කරමින් ඔවුන්ගේ මිය ගිය ඥාතීන් සිහිපත් කරනු දැකිය හැකිය.

ගැරිසන් සොහොන් බිමේ මිහිදන් කිරීම් ඇරඹීම සහ හමුදා සොහොන් බිමක් ලෙස ප‍්‍රකට වීම

මෙම සොහොන් බිමේ මිහිදන් කිරීම් ආරම්භ වී ඇත්තේ 1822 වසරේදීය. මෙහි මිහිදන් කොට ඇති මුල්ම පුද්ගලයා වෙනත් ස්ථානයක භූමිදානය කොට පසුව මෙම සොහොන් බිමේ මිහිදන් කොට සොහොන් කොතක් ඉදිකොට තිබේ. 1822 දී ඇරැඹී ගැරිසන් සොහොන් බිමේ මිහිදන් කටයුතු 1870 වසර දක්වා අඩසිය වසකට ආසන්න කාලයක් නොකඩවා සිදු වී තිබේ.

ගැරිසන් සොහොන් බිම වඩාත් ප‍්‍රකට වී ඇත්තේ බි‍්‍රතාන්‍ය යුද හමුදා සොහොන් බිමක් ලෙසිනි. ඒ මෙහි මිහිදන් කොට ඇති පුද්ගලයන් බහුතරයක් කුමන අයුරකින් හෝ බි‍්‍රතාන්‍ය යුද හමුදාවට සම්බන්ධ වූවන් බැවිනි.

ශී‍්‍රමත් ජෝන් ඩොයිලිගේ සොහොන් කොත

ගැරිසන් සොහොන් බිමේ අවසන් ගමන් ගිය පුද්ගලයන් අතර ඉතා සුවිශේෂී පුද්ගලයෙකු වන්නේ 1824 මිය ගිය ශී‍්‍රමත් ජොන් ඩොයිලි මහතා ය.

බි‍්‍රතාන්‍ය කේම්බි‍්‍රජ් විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකු වූ ඔහු 1801 වසරේ දී ලිපිකරුවකු ලෙස ලක්දිවට පැමිණ 1803 වසරේ සිට ගාල්ල හා මාතර ප‍්‍රදේශයන් හි බි‍්‍රතාන්‍ය ඒජන්තවරයෙකු ලෙස කටයුතු කර තිබේ. එම කාලය තුළ දී කොරතොට ධම්මාරාම, මොරතොට ධම්මානන්ද වැනි පඬි හිමිවරුන් ඇසුරු කරමින් සිංහල භාෂාව, සිංහල සාහිත්‍ය, බුද්ධ දර්ශනය හා සිංහල සිරිත් විරිත් ඇතුළු සිංහල සමාජය පිළිබඳව ප‍්‍රගුණ කොට ඇත. මාතර යුගයේ පුරෝගාමි කවීන් ඇසුරු කළ ජොන් ඩොයිලි මහතා ගජමන් නෝනා වැනි ප‍්‍රකට කිවිඳියන් සමඟ ද කවි හුවමාරු කරගත් බව ඔහු විසින් ලියන ලද දින පොතේ සටහන් කොට තිබේ.

1805 ලක්දිවට අලූතින් පත්ව ආ මේට්ලන්ඞ් ආණ්ඩුකාරවරයා මෙරට වැසියන්ගේ සිතුම් පැතුම් ගති සිරිත් හා සමාජ පසුබිම පිළිබඳව මනාව දැනුම්වත්ව සිටි ජෝන් ඩොයිලිගේ අත්දැකීම් හා කුළුපග බව උපයෝගී කර ගනිමින් උඩරට රාජධානිය පිළිබඳව අතිශය විශ්වාසදායි චරපුරුෂ සේවාවක් දියත් කර ගැනීම සඳහා ජෝන් ඩොයිලි මෙහෙය වූ බව උඩරට ඉතිහාසය සාක්ෂ්‍ය දරයි.

උඩරට රාජධානිය ආක‍්‍රමණයේ දී ඉංගී‍්‍රසි හමුදා සම්බන්ධිකරණ කටයුතු භාර නිලධාරියා ලෙස ද කටයුතු කළ ජෝන් ඩොයිලි උඩරට රජු, අදිකාරම්වරු හා බි‍්‍රතාන්‍යයන් අතර පැවති සියලූ රහස් සාකච්ඡා හා ඒවායේ පරිවර්තන කෙටුම්පත් කොට ඇති බව ද සඳහන් ය.

සත් කෝරළය ප‍්‍රදේශයේ රාජකාරී ගමනක යෙදී සිටියදී උණ රෝගයක් වැළඳීමෙන් මිය ගිය ශී‍්‍රමත් ජෝන් ඩොයිලිගේ සිරුර ගැරිසන් සොහොන් බිමේ මිහිදන් කොට අලංකාර සොහොන් කොතක් ඉදිකොට ඇති අයුරු අද ද දැකිය හැකි ය.

එලිසබෙත් ග්‍රෙගරි ආර්යාවගේ සොහොන් කොත

ගැරිසන් සොහොන් බිමේ මිහිදන් කොට ඇති තවත් සුවිශේෂි තැනැත්තියක් වන්නේ 1872 වසරේ සිට 1877 වසර දක්වා ලක්දිව ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ ශී‍්‍රමත් විලියම් හෙන්රි ග්‍රෙගරි මහතාගේ ආර්යාවය. 1817 වසරේදී උපත ලබා ඇති ඇය ග්‍රෙගරි ආණ්ඩුකාරවරයා සමඟ අනුරාධපුර සංචාරයක යෙදී සිටිමෙන් අනතුරුව දැඩි ලෙස රෝගාතුරු 1873 ජුනි 26 වන දින මහනුවර පැවිලියන් මන්දිරයේ දී (වත්මන් මහනුවර ජනාධිපති නිල නිවස) මිය ගියා ය.

ඇයගේ මරණය පිළිබඳව ග්‍රෙගරි ආණ්ඩුකාරවරයා විසින් රචනා කොට ඇති ඔහුගේ ස්වයං චරිතාපදානයේ සඳහන් කොට ඇත්තේ මෙලෙසිනි…

“ඉන්පසු මා කරා පැමිණියේ මගේ ජීවිතයේ අතිශය ශෝචනීයම සිදුවීම ය. එනම් මගේ බිරිඳගේ අභාවයයි. මගේ අනුරපුර ගමනින් ආපසු පැමිණි පසු ප‍්‍රමාණයට වඩා හිරු රැසට අනාවරණය වීමෙන් හටගත් රෝගී තත්ත්වයකින් ඈ පෙළෙන බව මට පෙනුණි. පළමුවෙන් මහත් අපේක්‍ෂා සහගත සිතින් ද පසුව සුන් වූ බලාපොරොත්තුවෙන් ද යුතුව මම ඈ බලා ගත්තෙමි. අන්තිම මොහොත තෙක් සිහියෙන් සිටි ඈ අවසන් හුස්ම හෙළුවා ය”.

ග්‍රෙගරි ආර්යාවගේ දේහය ගැරිසන් සොහොන් බිමෙහි මිහිදන් කොට සොහොන් ගලෙහි එළිසබෙත් ග්‍රෙගරි යනුවෙන් සඳහන් කොට ඇති අතර මරණය සිදු වූ දිනය ලෙසින් සටහන් කර ඇත්තේ 1873 ජුනි මස 26 වන දින ය.

ග්‍රෙගරි ආර්යාව පිළිබඳව ආර්. අබේ පුජකවරයා සඳහන් කොට ඇත්තේ මෙලෙසිනි.

“ඇයගේ ගති පැවතුම්වල අතිශය පි‍්‍රයමනාප බවක් තිබුණි. ඇය ඉතා ඉක්මනින්ම ලංකා සමාජයට නැතිව ගියේ ය. ඒ විපත සිදු වූයේ පාචන රෝගයෙනි. අනුරාධපුරයට යන ගමනේ දී තමන් විසින්ම වැරැදි අන්දමින් ප‍්‍රතිකාර ගැනීම ඇගේ මරණයට හේතුව යැයි මම සිතමි.”

ගැරිසන් සොහොන් බිමේ මිහිදන් කළ බි‍්‍රතාන්‍ය ජාතික සුවිශේෂි පුද්ගලයන්

1817.12.02 දින 26 වැනි වියේ දී මිය ගිය ජේම්ස් එඞ්වින් මැක්ග්ලෂන් නමැති තරුණයා ද ගැරිසන් සොහොන් බිමේ මිහිදන් කොට ඇති සුවිශේෂී තැනැත්තෙකි. වෝටලූ සටනට සහභාගී වූ රණ ශුරයෙකු ලෙසින් සැලකෙන ඔහු නැපෝලියන් අධිරාජ්‍යයාගේ බලවත් අවධානය දිනා සිටි පුද්ගලයෙකු ලෙස ද සැලකේ.

කොළඹ-නුවර මහා මාර්ගය ඉදි කිරීම සඳහා පුරෝගාමී සේවයක් ඉටු කළ ජෙනරාල් ජෝන් පේ‍්‍රෂර් ද ගැරිසන් සුසාන භුමියේ මිහිදන් කළ සුවිශේෂී පුද්ගලයෙකි.

ඔහු විසින් එම මාර්ගය ඉදි කිරීමේ දී සිදු කළ සුවිශේෂි කාර්ය භාරයක් වී ඇත්තේ පේරාදෙණිය බුරුත ලී පාලම ඉදිකිරීම සඳහා උපදෙස් හා තාක්ෂණය ලබා දීම ය. අඩි 205ක දිගකින් යුත් මෙම ලී පාලමේ විශේෂත්වය වන්නේ කිසිදු ආධාරක කණුවක් හෝ එකදු ලෝහ ඇණ මුරිච්චියක් යොදා නොගෙන පාලමේ ඉදි කිරීම ය.

1818 කැරැල්ල මෙහෙය වූ වීර කැප්පෙටිපොල අධිකාරම් අල්ලා ගැනීමට දායක වූ ප‍්‍රබල පුද්ගලයෙකු ලෙස සැලකෙන්නේ ද ජෙනරාල් ජෝන් ප්‍රෙෂර් ය.

බි‍්‍රතාන්‍ය ජාතිකයන් පාවා දෙන්නන් හා ජාති ද්‍රෝහින් ලෙස පැවසෙන්නේ ඉතාමත් කලාතුරකිනි. එහෙත් බි‍්‍රතාන්‍යයන් විසින් ජාති ද්‍රෝහියෙකු ලෙස නම් කරන ලද බි‍්‍රතාන්‍ය පරිපාලන නිලධාරියෙකු වූ එඞ්මන්ඞ් සැම්ප්සන් වෝන්ස් නැමැත්තාගේ සොහොන් ගැබ පිහිටා ඇත්තේ ද මහනුවර ගැරිසන් සුසාන භූමියේ ය.

ඔහු මාතලේ දිසාපති කාර්යාලයේ උප දිසාපතිවරයෙකු ලෙස කටයුතු කරමින් සිටිය දී 1848 වසරේ දී මාතලේ ප‍්‍රදේශයේ දී ඇති වූ කැරැල්ලේ දී කැරලිකරුවන්ට ඔහුගේ ගිනි අවියෙන් වෙඩි නොතබා පලා යාම නිසා ජාති ද්‍රෝහියෙකු ලෙස නම් කොට තිබේ.

ඔහුගේ ආරක්‍ෂාව සඳහා බි‍්‍රතාන්‍ය පාලනයෙන් ලබා දී තිබු ගිනි අවිය පාවිච්චි නොකිරීමත්, කැරැල්ලේ කැරැලිකරුවන්ට පලා යාමට අවස්ථාව සලසා දෙමින් පලා යාමත්, බි‍්‍රතාන්‍ය පාලනය ඔහු ජාති ද්‍රෝහියකු බවට පත් කිරීමට හේතු වූ අතර එම හේතුව නිසාම ඔහු දැරූ උප දිසාපති තනතුරින් ද පහ කොට තිබේ. වයස අවුරුදු 60 දී මිය ගිය ඔහුගේ අවමංගල්‍යයට කිසිදු බි‍්‍රතාන්‍ය රාජ්‍යතාන්ති‍්‍රකයෙකු සහභාගී වී නොමැති අතර සාමාන්‍යයෙන් ඉංගී‍්‍රසි ජාතිකයන්ගේ ලේ ඥාතීන් හා සමීපතමයන් එකම වළක මිහිදන් කරනු ලැබුව ද සැම්ප්සන් වෝනස් නැමැත්තාගේ භාර්යාව මිය යාමෙන් අනතුරුව ඔහුගේ සොහොන් ගැබ අසළ වෙනත් ස්ථානයක මිහිදන් කොට තිබේ.

වන අලියෙකු පහරදීමෙන් ලංකාවේ දී මිය ගිය 7 වැන්නා ලෙසින් සැලකෙන ජෝන් ස්පෝට්ස්වුඞ් රොබට්සන් නැමැත්තා මිහිදන් කොට ඇත්තේ ද ගැරිසන් සොහොන් බිමේ ය. ඔහු වන අලියෙකු පහරදීමෙන් මිය ගිය අවසන් යුරෝපීය ජාතිකයා ලෙස ද පිළිගැනේ.

ගැරිසන් සොහොන් බිමේ අවසන් වරට මිහිදන් කොට ඇත්තේ මහනුවර වැව රවුමේ පදිංචිව සිටි ජේම්ස් හෙන්රි ප‍්‍රශා නමැති බි‍්‍රතාන්‍ය ජාතික කාන්තාවකි. පළමුව ඇය වෙනත් ස්ථානයක මිහිදන් කොට පසුව ඇගේ ඥාතීන් ඇගේ මෘත ශරීරය මෙම පෞරාණික සොහොන් බිමේ තැන්පත් කිරීම සඳහා අධිකරණ නියෝගයක් ලබා ගෙන තිබේ.

මහනුවර ගැරිසන් සොහොන් බිම ඉංගී‍්‍රසි ජාතිකයන්ට මෙන්ම ශී‍්‍ර ලාංකිකයන්ට ද වැදගත් ඓතිහාසික ස්ථානයකි. මෙම සොහොන් බිම නැරඹීමට පැමිණෙන සුදු ජාතිකයන් මේ බිමේ මිහිදන් කොට ඇති සිය ඥාති මිත‍්‍රාදීන්ට අවසන් ගෞරවය දැක්වීමටත් මිය ගියවුන්ගේ අභිමානය සැමරීමටත් කටයුතු කරනු දැකිය හැකිය.

මහනුවර ශී‍්‍ර දළඳා මාළිගාවට පිටුපසින් වැටී ඇති අනාගාරික ධර්මපාල මාවතේ කෙළවර උඩවත්ත කැලේ වන රක්ෂිත මායිමේ පිහිටි ඓතිහාසික ගැරිසන් සොහොන් බිම පිළිබඳව දෙස් විදේස් සංචාරකයන් දැනුම්වත් කිරීම සඳහා පුළුල් ප‍්‍රචාරයක් ලබා දීමට ශී‍්‍ර ලංකාවේ බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය මෙන්ම ශී‍්‍ර ලංකා සංචාරක අමාත්‍යාංශයේ ද යුතුකම හා වගකීම විය යුතුය.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*