මහින්ද දෙවැනි වතාවටත් ගෝඨාට අපේක්ෂකත්වය පොරොන්දු වෙයි..!

Spread the love

මහින්දගේ පොරොන්දුව ගැන ගෝඨා දෙගෙඩියාවෙන්..!

“පොරොන්දු ඉටු නොකොළොත් විකල්ප තීන්දුවක් ගන්නවා”

පුරවැසිකම එපා කියන අවසන් ලිපි ගොනු මේ සතියේ  ඇමරිකානු තානාපතිට..!

(සුජිත් මංගල ද සිල්වා)

ඒකාබද්ධ විපක්ෂය ප්‍රධාන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකකම ලබා දෙන බවට විපක්ෂ නායක සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට දෙවැනි වතාවටත් පොරොන්දු වී තිබේ.

ඔහු මේ බව ගෝඨාභය රාජපක්ෂ මහතාට දැනුම්දී තිබෙන්නේ ඒකාබද්ධ විපක්ෂය ප්‍රධාන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මගින් “ඉවසුවා ඇති” තේමාව යටතේ සිකුරාදා (08) මහනුවරදී සංවිධානය කෙරුණු ජන රැළියෙන් පසුවය.

මහින්ද රාජපක්ෂ මහතා,බැසිල් රාජපක්ෂ මහතා සමග ද දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කිරීමෙන් පසුව සියලු වගකීම් තමා භාර ගනිමින් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත මේ දැනුම්දීම කර තිබෙන්නේ ජනාධිපති අපේක්‍ෂකත්වය ලබා දෙනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන්  නිශ්චිත සහ නිවැරැදි උත්තරයක් තමාට ඉක්මනින්ම ලබා දෙන්න යැයි ඔහු කර තිබූ  ඍජුවම දැනුම් දීම මතය.

කොළඹ,විජේරාමයේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසටම ගොස්,  ගෝඨාභය රාජපක්ෂ මහතා ඔහුට මේ බව දැනුම් සඳුදා (04) රාත්‍රියේය.

ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් එවැනි නිශ්චිත සහ නිවැරදි උත්තරයක් ලබා නොදෙන්නේ නම් තමාට විකල්ප දේශපාලන තීන්දුවක් ගැනීමට සිදු වන බවට එහිදී  අනතුරු අඟවා තිබූ ගෝඨාභය රාජපක්ෂ මහතා  එසේ වුණොත් ඒ සම්බන්ධයෙන් තමාට පසුව දෝසාරෝපනය කරන්න එපා යැයි ද මහින්ද රාජපක්ෂ මහතා වෙත දැනුම් දී තිබිණ.

කෙසේ නමුත් මහින්ද රාජපක්ෂ මහතා දුන් පොරොන්දුව පිළිබඳව පූර්ණ විශවාසයක් තබා නොමැති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය පවුලේ සාමාජිකයින් සහ සමීපතම දේශපාලන සගයින් සමග කියා තිබෙන්නේ පොරොන්දු වූ පරිදි තමාට ජනපති අපේක්ෂකත්වය ලබා නොදී තමා නොමඟ යැව්වොත් නියත ලෙසම තමා විකල්ප දේශපාලන තීරණයක් ගන්න බවය.

තමාට ජනපති අපේක්ෂකත්වය ලබාදීම සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ යන මහත්වරුන් සහ මහින්ද රාජපක්ෂ මහතාගේ භාර්යාව වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය අතර තිබෙන විරෝධය පිළිබඳව ද ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවදානය යොමු වී තිබේ.

කෙසේ නමුත් මේ උද්ගත වී තිබෙන තත්ත්වය හමුවේ මහින්ද රාජපක්ෂ මහතා නම් කරන ඕනෑම ජනපති අපේක්ෂකයෙකුට තමා සිය පූරණ සහය ලබා දෙන බවට පසුගියදා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළ බැසිල් රාජපක්ෂ මහතා ඊට පෙර මහින්ද රාජපක්ෂ මහතා වෙත දැනුම් දී තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරනවා නම් ඒ පිළිබඳ සියලු වගකීම් ඔහු භාර ගත යුතු බවය.

මේ අතර ජනපති අපේක්ෂකත්වය සමබන්ධයෙන් පැවති අවිනිශ්චිතභාවය හේතුවෙන් අතරමඟ නතර කර තිබූ  සිය ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කර ගැනීමේ වැඩ කටයුතු වහාම ක්‍රියාත්මක වන පරිදි යළි අරඹා ඇති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊට අදාළ අවසන් ලියකියවිලි සහ ලිපි ගොනු මේ සතිය ඇතුළතදී ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලයට භාරදීමට නියමිතය.

2020 ජනාධිපතිවරණයට සූදානම් වන ලෙසට මහින්ද රාජපක්ෂ මහතා මීට පෙර අවස්ථාවකදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවසටම ගොස් දැනුම් දී තිබුණු අතර 2019 ජනවාරි මස දොළොස් වැනි සෙනසුරාදා කොළඹදී පැවති “වියත් මඟ” සංවිධානයේ වාර්ෂික සුහද හමුවේදී,එම අවස්ථාවට එක්ව සිටී වෘත්තීයවේදීන් “ඔබ ජනාධිපතිවරණයට ඉදිරිපත් වනවා දැයි” විමසූ අවස්ථාවේදී “ඔබලා සුදානම් නම් මමත් සුදානම්” යැයි කියමින් ගෝඨාභය රාජපක්ෂ මහතා තමා දේශපාලනයට පැමිණෙන බවට නිල වශයෙන් පළමු වතාවට ප්‍රසිද්ධියේ ඉඟි පළ කළේ එම පසුබිම යටතේය.

ඊට පෙර අවස්ථා කිහිපයකදී ගෝඨාභය රාජපක්ෂ මහතා  ඇමරිකාව බලා පිටත්ව ගොස් තිබූ අතර ඔහු එසේ ගියේ ඔහුගේ ඇමරිකානු පුරවැසිභාවය එරෙට රාජ්‍ය දෙපාර්තමේන්තුව මාර්ගයෙන් අහෝසි කර ගැනීමට සහ එරට තිබෙන ඔහුගේ දේපොළ සම්බන්ධ කටයුතු නිරාකරණය කර ගැනීම සඳහාය.

මේ අතර 2018 දෙසැම්බර් මස 12 වැනිදා ඇමරිකාව බලා පිටත්ව ගිය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා යළි දිවයිනට පැමිණියේ 2019 ජනවාරි මස 11 වැනිදා රාත්‍රියේය.

මේ කාලය ඇතුළතදී ගෝඨාභය රාජපක්ෂ මහතා සිය පෞද්ගලික සම්බන්ධතාවයක් මාර්ගයෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පුද්ගලිකව හමුවී විශේෂ සාකච්ඡාවක් කළ බව විදේශ තානාපති අංශ සහ ශ්‍රී ලංකාවේ රාජ්‍ය බුද්ධි අංශ ආරංචි මාර්ග  “lankanewsweek” වෙත තහවුරු කර සිටියේය.

සිය ඇමරිකානු පුරවැසි භාවය අහෝසි කර ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා වෙත කරුණු ඉදිරිපත් කර ඇත.

ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා හමු වූයේ කිනම් පාර්ශවයන් මාර්ගයෙන් ද යන්න පිළිබඳව පාඨක ඔබට කරුණු ඉදිරිපත් කිරීමට “lankanewsweek” කණ්ඩායමට මේ මොහොතේ නොහැක්කේ එසේ වුණොත් එම තොරතුරේ මූලාශ්‍රය හෙළිවීමෙන් තොරතුරුකරුට අගතියක් සිදු වන නිසාය.

කෙසේ නමුත් මේ සියලු උත්සාහයන් අවසානයේදී ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු බලධාරීන් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දැනුම් දී තිබුණේ ඇමරිකානු පුරවැසියෙකුට සිය ඇමරිකානු පුරවැසිකම අහෝසි කර ගැනීමට අවශ්‍ය නම් ඔහු ඊට අදාළ ලියකියවිලි සහ ලිපි ගොනු භාර දිය යුත්තේ ඒ මොහොත වන විට ඔහු ජීවත් වන රටේ තිබෙන ඇමරිකානු තානාපති කාර්යාලයට බවය.

ජනාධිපතිවරණයට පෙර සිය ඇමරිකානු පුරවැසි භාවය අහෝසි කර ගැනීම සඳහා, ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතාගේ උපදෙස් මත ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය වෙත භාරදීමට විශේෂ දිවුරුම් ප්‍රකාශයක් ඇතුළු ලියකියවිලි සහ  ලිපි ගොනු මේ වන විට සකස් කරමින් සිටින්නේ මේ පසුබිම මතය.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*