විමල් වීරවංශට 20-විෂ වෙයි..!
මහින්ද රාජපක්ෂගේ “Time Over” වන ලකුණු..!
(සුජිත් මංගල ද සිල්වා)
සිය නායකත්වය,බලය සහ පැවැත්ම ආරක්ෂා කර ගැනීමේ අරමුණින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්ව, 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට පිඹුරුපත් ඇඳීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ඔහුගේ පවුල අභ්‍යන්තරයෙන් වගේම ඒකාබද්ධ විපක්ෂය ඇතුළු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකයින්ගෙන් ද දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතියි.
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා,අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබා දුන්නොත් ඔහුට එරෙහිව දැඩි දේශපාලන ප්‍රහාරයක් එල්ල කරමින් රට ජනතාව පෙළ ගැස්ස වන බවට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා එම පෙරමුණේ අභ්‍යන්තර සාකච්ඡාවකදී සිකුරාදා (22) අනතුරු අඟවා තිබේ.
මේ අතර මේ කාරණය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට හිතවත් ජන මාධ්‍යවේදීන් කිහිපදෙනෙකු ඔහුගෙන් කරුණු විමසා ඇති අවස්ථාවේදී ඔහු, සිය ස්ථාවරය පැහැදිළි කරමින් කියා තිබෙන්නේ විධායක ජනාධිපති ධූරය අහෝසි කරනවාට තමා තරයේ විරුද්ධ බවය.
වීරෝදාර රණ විරුවන් එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදයෙන් මුදා ගෙන ඒකීය රාජ්‍යක් බවට පත් කළ රට,ඒ ඒ අයගේ පෞද්ගලික දේශපාලන අරමුණු,වාසි සහ න්‍යාය පත්‍ර වෙනුවෙන් අස්ථාවර සහ අනාරක්ෂිත කිරීමට ඉඩ දිය නොහැකි බව එහිදී ජන මාධ්‍යවේදීන් හමුවේ අවධාරණය කර ඇති ගෝඨාභය රාජපක්ෂ මහතා විධායක ජනාධිපති ධූරය මුළුමනින්ම අහෝසි කිරීමෙන් රටට ජනතාවට අයහපතක් විනා යහපතක් සිදු වන්නේ නැතැයි ද පෙන්වා දී තිබේ.
මේ තත්ත්වයෙන් පැහැදිළි වන්නේ මේ කාරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට, ඔහුගේ පවුලේ වගේම ඒකාබද්ධ විපක්ෂයේ අභ්‍යන්තරයෙන් එල්ල වී තිබෙන විරෝධයේ තරම යැයි එම කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් “lankanewsweek” සමග පැවසීය.
කෙසේ නමුත් ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහ නාමල් රාජපක්ෂ මහතා ඇතුළු ඔහුගේ සහෝදරයින්ගේ ස්ථාවරය වී තිබෙන්නේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගෙන මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ අග්‍රාමාත්‍ය අපේක්ෂකයා ලෙස ඉදිරිපත් විය යුතු බවය.
මේ කාරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ස්ථාවරයට එරෙහිව බැසිල් රාජපක්ෂ මහතා, මහින්ද රාජපක්ෂ මහතා සමග යම් දුරකට එකඟව සිටින අතර චමල් රාජපක්ෂ මහතා සහ ඔහුගේ පුත් ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සිටින්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ස්ථාවරයේය.
Lanka Newsweek © 2024