දෙරණේ සිංහල බෞද්ධ ආතල් කඩපු දිලිත්..!

Spread the love

කිෂාණිට-ශ්‍රීනාත්ට දෙරණ ගහපු හැටි..!

පත්තර කිය වන මල්ලිලාට ඇපත් නැහැ..!

(උපුල් ජෝශප් ප්‍රනාන්දු)

කිෂාණි ජයසිංහ වෘත්තියෙන් ඔපෙරා ගායිකාවකි. ඇය 2016 පෙබරවාරි 04 නිදහස් දින උළෙලට “දන්නෝ බුදුන්ගේ” ගීතය ඔපෙරා ශෛලියෙන් ගායනා කළාය. ඇය එම ගීතය ඔපෙරා ශෛලියෙන් ගායනා කිරීම එම ගීතයට, සංස්කෘතියට, බෞද්ධාගමට කළ අවමානයක් යැයි මර හඬ තලන්න ගත්තේ  දෙරණ මාධ්‍ය ජාලයයි.

දෙරණ මාධ්‍ය ජාලයේ නිවේදකයෙක් කිවේ කිෂාණි  එම ගීතය ගැයුවේ දවල්ට ඥාව් ඥාව් කියන  බළලියක් රෑට දමන සද්දයක් වගේ කියාය. ඔහු කිවේ එලෙස සද්දේ දමන බැළලියන්ට ගඩොල් භාගයක් අරගෙන ගහන්න ඕනෑ කියාය. ඔහු කිෂාණිව සමාන කළේ එවැනි බැළලියකට.

ඔහුගේ දෙරණ නාලිකාව නිදහස් දිනට පසු සතියක් දෙකක් යන තෙක් ම කිෂාණිට ගහන මුවාවෙන් ගැහුවේ  ආණ්ඩුවටය. දෙරණ කිවේ ආණ්ඩුව සිංහල ගීතය, සංස්කෘතිය, බෞද්ධාගම විකෘත්ති කරනවා කියාය.

මෙයින් කිපුණු රනිල් දෙරණට පහර දුන්නේ දෙරණ නාලිකාව කාන්තාවන්ට අපහාස කරනවා කියමින්ය. එත් දෙරණ මේ වැඩේ අත හැරියේ නැත. සිසුන් පිරිසක් පිදුරංගල රජමහ විහාරයට අපහාස වන අයුරින් පිටුපස පෙන්වා ඡායාරුප ගත් විට පවුන් අත් අඩංගුවට ගන්නා තෙක් පන්න පන්නා පහර දුන්නේ දෙරණ නාලිකාවය. එසේම බුද්ධ රුපය සහිත රෙදි හෝ ඇඳුම් දුටු විට ඒ පසු පස පන්නන්න පොලිසිය උසී ගන්වන්නෙත් තමන් සිංහල බෞද්ධයන්ගේ සිංහල සංස්කෘතියේ ආරක්ෂකයන් ලෙස පෙනී සිටිමින් වත්මන් ආණ්ඩුව යටතේ සිංහල බෞද්ධකම සහ සංස්කෘතිය විනාශය පත් වෙමින් යන බව අනියමින් පෙන්වමිනි.

පසු ගිය වසරේ කේ.කේ. ශ්‍රීනාත්  “බුදුන්ගේ රස්තියාදුව” නමින් පොතක්  පළ කළ විට එම පොතට එරෙහිව පන්සල්වල බෞද්ධයන් අතර, හාමුදුරුවන් අතර මතයක් හැදුවෙත්  දෙරණ නාලිකාවය. මේ පොත තහනම් කරනවා දැයි සස්කෘතික ඇමති විජේදාසගේ  කටට මයික්‍රෆෝනය දී අහලා පොත තහනම් කරන තැනට පමණක් නොව ලේඛකයාට නඩු වැටෙන තැනට වැඩේ ඇදගෙන ගියේ දෙරණය.

ඉන්පසු චන්ද්‍රිකාගේ ජාතික ඒකාබද්ධතා සංහිදියා කාර්යාලය ගුවන් විදුලි  නාටක මාලාවක් නිෂ්පාදන කළ විට එම නාටක වලින් බුදු දහම උපහාසයට, අපහාසයට ලක් කරනවා යැයි කෑ මොර දුන්නේ දෙරණය. එහි එක් නාටකයක නම වුයේ “තරුවන් සරණයි” යන්නය. අනෙක “නිහොන් සැප ලැබේවා” යන්නය. තවත් නාටකයක් “නිර්වස්තෘ පරමං සුඛං” යන්නය. මෙම නාට්‍ය මාලාවෙන් බුද්ධාගමට අපහාසයක් වන්නේ නැතැයි චන්ද්‍රිකාගේ කාර්යාලයේ මාධ්‍ය ඇමති මංගලත් පුන පුනා කිවත් දෙරණ කන්දුන්නේ නැත.

මහින්ද රාජපක්ෂ, රනිල්ගේ ආණ්ඩුව බුදු දහමට අපහස වන නාට්‍ය හදනවා යැයි කියන විට මහින්දගේ කතාව රටටම ඇහෙන්න ප්‍රචාරය කළේ දෙරණය. ඒ දවස්වල දෙරණ ප්‍රවෘත්ති සහ උදේ පත්තර කිය වන වැඩ සටහන තුළ මර මරා රස බැලුවේ මේ නාට්‍ය මාලාවය.

ඔවුන් රටට පෙනුවේ මේ නාට්‍ය මාලාවෙන්  බෞද්ධාගම ඉවරයි යැයි කියාය. අන්තිමේදී මෛත්‍රී මෙයට මැදිහත් වූ අතර, විජේදාස රාජපක්ෂ නාට්‍ය  මාලාව තහනම් කළේය. එපමණක් නොව “බුදුන්ගේ රස්තියාදුව” ග්‍රන්ථය ලිවූ ශ්‍රිනාත්ට සහ රේඩියෝ නාට්‍ය මාලාව හදපු අධ්‍යක්ෂවරයාට නිතිය  ක්‍රියාත්මක කරන්න යැයි විජේදාස පොලිස්පතිගෙන් ඉල්ලා සිටියේය.

පොලිසිය මොවුන් පසු පස පැන්නුවේ මේ පොත සහ නාට්‍ය මාලාව  බෞද්ධ විරෝධී කුමන්ත්‍රණ ලෙස හදුන්වමිනි. මේ පොත සහ නාට්‍ය මාලාව බුදුදහමට එරෙහිව කළ කුමන්ත්‍රණය ගැන රටට හෙළිදරව් කළේ දෙරණ යැයි දෙරණට නම්බු නාම දුන්නේ ඕමල්පේ සෝභිත හිමියන්ය. මේ උන්වහන්සේගේ මාධ්‍ය සාකච්ඡාවේදී කළ කතාවය.

“බෞද්ධාගමට,බුදුහාමුදුරුවන්ට අපහාසවන ගුවන් විදුලි නාට්‍ය මාලාව ගැන ජනතාවට කිවේ දෙරණ නාලිකාව. ඉතාමත් මැනවින් රටට, ජනතාවට මේ ගැන දැනගන්න සැලැස්සුවේ දෙරණය නාලිකාවය. මුලින්ම දෙරණ නාලිකාවට ස්තුති වන්න ඕනෑ…”

ඕමල්පේ සෝභිත හිමි -17-08-2018

ඇත්තෙන්ම ගුවන් විදුලි නාට්‍ය මාලාව බෞද්ධාගමට අපහාසයක් කර නැති බවත් “තෙරුවන් සරණයි”  යන නම යෙදුවේ “සුපර් ස්ටාර් රියලිටි” වැඩ සටහන් උපහාසයට ලක් කිරීමට බවත් චන්ද්‍රිකාගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කොට තිබේ. එත් මේ වන විට රනිල්ගේ ආණ්ඩුව පැහැර ගත්ත මහින්ද සහ මෛත්‍රී  හොර රහසේ  සකච්ඡා කරමිනි සිටි අතර, ආණ්ඩුව පැහැර ගැනීම  සාධාරණීකරණය  කරන්න ප්‍රධාන හේතුව ලෙස ඉදිරිපත් කළේ රනිල්ගේ ආණ්ඩුව රටේ සස්කෘතිය විනාශ කරනවා යන සටන් පාඨයය.

මෛත්‍රී- මහින්දගේ වේදිකාවට  නැග කළ කතාවෙන් කිවේ රටේ සංස්කෘතිය ඉවරයි කියාය. දෙරණ වැනි මාධ්‍ය කිෂාණි ගේ “දන්නෝ බුදුන්ගේ” ගීතයේ සිට “තරුවන් සරණයි” දක්වා ආණ්ඩු විරෝධය නිර්මාණය කරන්න පාර සකස් කළේ මහින්දට සහ මෛත්‍රීට දේශපාලන හනිමුන් යන්නටය.

කිෂාණි, බුදුන්ගේ රස්තියාදුව පොතේ කර්තෘ, නාට්‍ය මාලාවේ අධ්‍යක්ෂ දෙරණේ මේ මාධ්‍ය භිෂණය නිසා දැඩි අසහනයට පත් වූ බව ඔවුන්ගේ කතා බහවලින් පැහැදිළි විය. ඇත්තෙන්ම ඔවුන් දේශපාලන චෙස් ගේම් එකක ඉත්තන් විය. එත් මොවුන්ගේ වේදනාව අසහනය දෙරණට ගානක්වත් නැති විය.

ස්වභාව ධර්මය කියන්නේ මහ පුදුම දෙයකි. එහෙව් දෙරණට පමණක් නොව දෙරණේ හිමිකාරයාටම මේ වේදනාව, අසහනය අත්දකින්න සිදුව තිබීම දෛවයේ සරදමකි. දෙරණ ආයතනයේ හිමිකරු දිලිත් ජයවීර “දඩබ්බරයා” නමින් වූ   පොතක් එළි දක්වන උළෙලක කළ කතාවක් නිසා දිලිත් ජයවීර පමණක් නොව දෙරණම මහත් ආන්දෝලනයකට ලක් වී තිබේ. මේ ඔහු කළ කතාවේ ආන්දෝලාත්මක කෑලිය.

“අපට ආතල් එකේ ඉන්න ඕන නම් ආතල් කන්සෙප්ට් තියෙන්නේ බුඩිසම්වල සිද්ධාර්ථ  හිටපු විදිහට..”

“ ආතල් ක්‍රම ගොඩක් තියනවා සුස්තියක් ගහන ඒක. නස්පුක් වෙන්න බිම..”

“ මම මගේ ආතල් එකට ලැබුනොත් ඉදල හිටලා ජොයින්ට් එකක් අදිනවා..”

“ සිද්ධාර්ථ වගේ වැඩියෙන් ආතල් අරගෙන ඉන්න මම කැමතියි. සිද්ධාර්ථ කිවේ දුක පිළිබඳ කතාවක් නොවෙයි.සැප පිළිබඳ කතාවක්. සිද්ධාර්ථ කියන්නේ දිගින් දිගටම ආතල් එකේ හිටපු පුද්ගලයෙක්.”

දෙරණ හිමිකරුගේ මේ කතාව දැන් මුහුණු පොතේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්වෙමින් තිබේ. එක් මාධ්‍ය ආයතනයක් අනෙක් මාධ්‍ය ආයතනයට පහර නොගහන ප්‍රතිපත්තිය තුළ කිසිදු මාධ්‍ය ආයතනයක් මේ ගැන කතා නොකරන අතර, ඒ නිසාම සමාජ මාධ්‍යන් හි මෙය ජනප්‍රිය මාතෘකාවක් බවට පත්ව තිබේ.

“තරුවන් සරණයි” කියන විට අධ්‍යක්ෂක පිටුපස පොලිසිය පන්නවපු විජේදාස, දිලිත් “සිද්ධාර්ථ ආතල් ගන්න හැටි කියද්දී ඉන්නේ දෙරණ කාර්යාලයේ හැංගිලා ද..?”

“තරුවන් සරණයි” කීමෙන් “තෙරුවන් සරණයි” කියන බුදු වදනට අපහාස වනවා කි සෝභිත හිමි “සිද්ධාර්ථ ආතල් ගත්තා” කියද්දී මොකක්ද කියන්නේ..?”

සිද්ධාර්ථ ආතල් ගත්තා කියන දිලිත්, යමෙක් ආතල් ගන්නා ක්‍රම ගැන කියයි. නස්පුක් වෙන්න බිම, සුස්ති ගැසීම, නියම ආතල් ගැනීම යැයි ඔහු කියයි.

“ ඔහු කියන්නේ සුස්ති ගැසීම සිද්ධාර්ථ ආතල් ගන්න ක්‍රමයක් කියලා ද..?”

මහින්ද රාජපක්ෂ, විජේදාස රාජපක්ෂ, ඕමල්පේ සෝභිත හිමි, රාවණා බලය යන දෙරණ ජනප්‍රිය සිංහල බෞද්ධ  චරිත බවට පත් කර ඇති හිමිවරුන්ට, දේශපාලඥයන්ට, සංවිධානවලට අනුව මේ වන විටපොලිසිය  දිලිත්ව අත්අඩංගුවට ගෙන තිබිය යුතුය.

ඒ බෞද්ධාගමට අපහාස කිරීම නිසා පමණක් නොව, සුස්ති ගැසීමත් නිසාය. මංගල මාතර හෝටල්වලට බියර්, වයින්, ලයිසන් දෙන විට ලංකාව මත්ද්‍රව්‍ය තිත්පොලක් කරන්න යනවා යැයි කියා කෑගැසූ දෙරණ, රන්ජන් කුඩු ගංජා හගන මන්ත්‍රීවරු ඉන්නවා යැයි කි විට ඒ මන්ත්‍රී ලැයිස්තුව හමගහන්න ඉල්ලපු දෙරණ තම හිමිකාරයා ආතල් ගන්න සුස්ති හගනවා කියන විට ඉන්නේ මියට පිම්බා වගේය.

කියා ගන්න දෙයක් නැතිව කිෂාණිට බැල්ලි කියා ගලේ පහරපු බළලුන් සේ සිටින දෙරණ පත්තර මල්ලිලාගේ මුහුණු පොතේ “දඩබ්බරයා” පොත ලියපු ලේඛකයාගේ සටහනකින් විලිවසා ගන්න උත්සහ ගෙන තිබේ. එහි මෙසේ  සඳහන්ය.

“එහිදී දිලිත් කොන්දේසි නොතකමින් සිදුකළ නිදහසේ කතාව විවිධ අය විවිධ තැන්වලින් අල්ලාගෙන ඇති බව අවබෝධ කර ගැනීමට මේ දවස්වල සමාජ මාධ්‍යයේ හැසිරීම නිරීක්ෂණය කිරීමට ප්‍රමාණවත්ය..”

අපට කියන්න තියෙන්නේ කිෂාණි ගේ “දන්නෝ බුදුන්ගේ” ගීතය “ බුදුන්ගේ රස්තියාදුව “ “තරුවන් සරණයි” ගුවන් විදුලි නාට්‍ය මාලාව විවිධ තැන්වලින් අල්ලාගෙන දේශපාලනය කළේ දෙරණය බවය.

එදා කිෂාණිලා, ශ්‍රීනාත්ලා, වචන අල්ලාගෙන පහර ගහන්න එපා යැයි කෑමොර දෙන විට ඔවුන් සිංහල බෞද්ධ විරෝධී සංස්කෘතික විරෝධී දේශද්‍රෝහීන් යැයි කි දෙරණට ම තම හිමිකාරයා සම්බන්ධයෙන් ඒ කතාවම කියන්නට සිදුවීම කළ කළ දේ පල පල දේ කියන ගැමි වැකියම මතක් කර දුන්නාක් වැනි යැයි කියාය.

-මව්රට-

(ගුරුදා විග්‍රහය)

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*