දු දරුවන්ගේ ලෝකයට දෙමාපියන් එබී බැලිය යුත්තේ කෙසේද..!

Spread the love

“ළමයා මිනිසාගේ පියාය”- විලියම් වර්ඩ්ස්වර්ත්

(දේශප්‍රිය නානායක්කාර)

‘ළමයා මිනිසාගේ පියාය’ 18 වන සියවසේ එංගලන්තයේ ජීවත් වූ (William Wordsworth) විලියම් වර්ඞ්ස්වර්ත් තම රෙයින් බෝ (The Rainbow) නැමති කවි පොතේ ළමයා මිනිසාගේ පියා යැයි හඳුන්වා ඇත.

පළමුව පුද්ගල මට්ටමින් මිනිස් මනස සංවර්ධනය කිරීමෙන් ආරම්භ කොට අනතුරුව මිනිසාගේ භෞතික ප‍්‍රගතියන් දියුණු කරලීමත් ඉන් අනතුරුව මිනිසා තුළින් ගම සංවර්ධනය කිරීමත්, ඊට සමගාමීව සමස්ත ජාතික සංවර්ධනය ඇති කිරීමෙන් මුළු මිනිස් සංහතියටම දසත පැතිරුණු ධරණීය සංවර්ධනය නොහොත් තිරසාර සංවර්ධනයේ යහ ගුණ නැණ භුක්ති විඳීමට හැකි වනු ඇති බව භාරතයේ මහත්මා ගාන්ධිතුමන් ප‍්‍රකාශ කර ඇත.

මිනිස් මනස සංවර්ධනය කිරීමේ ක‍්‍රියාවලියේදී පළමු පියවර වන්නේ මිනිසාගේ මුල් ළමා විය පිළිබඳවය. නූතන අධ්‍යාපන මනෝ විද්‍යාඥයන්ළමා වයස අවධි 06කට සංවිධානය කර ඇත.

01. බිළිඳු වයස උපතේ සිට අවුරුදු 02 දක්වා.

02. ළදරු පාසල් අවදිය අවුරුදු 02 සිට 05 දක්වා.

03. බාලාංශ පාසල් අවදිය අවුරුදු 05 සිට 07 දක්වා.

04. ප‍්‍රාථමික අවදිය අවුරුදු 08 සිට 12 දක්වා.

05. පෙර යොවුන් විය අවුරුදු 13 සිට 15 දක්වා.

06. නව යොවුන් අවදිය අවුරුදු 15 සිට 18 දක්වා.

ළමයා යනු සැබැවින්ම ළමයෙකු වන අතර ඔහු කුමන ආකාරයකින්වත් වැඩිහිටියෙකු නොවේ යැයි ප‍්‍රංශ අධ්‍යාපනික දාර්ශනිකයෙකුවූ Jen Jacques Rousseau ( Francophone  Genevan Philosspher) ජීන් ජැක්ස් රූසෝ ප‍්‍රකාශ කර ඇත.

ඉහත දැක් වූ අවස්ථා 06 පසුකරන දු දරුවන්ගේ  දෙමාපියන්  ද රූසෝගේ මෙම ප‍්‍රකාශය පිළිබඳව තීව‍්‍ර අවධානය යොමු කළ යුතුය.

17 වන සියවසේ  ජීවත් වූ ජීන් ජැක්ස් රූසෝ තව දුරටත් ප‍්‍රකාශ කර ඇත්තේ ළමයෙකු නගරයක ඉපදුණහොත් පසුදා ම තම ගමට  රැගෙන යන ලෙසයි. රූසෝ  සඳහන් කර ඇත්තේ නගරය මිනිසාගේ නිර්මාණයක් නිසාත් ගම ස්වභාව ධර්මයයේ  නිර්මාණයක් නිසාත් දරුවන් සොබාදහම සමග සමීපව වර්ධනවිය යුතු බවයි.

දරුවා කුඩා මිනිසෙකු නොව දු දරුවන්ගේ ලෝකයට දෙමව්පියන් එබී බැලිය යුත්තේ කෙසේද ?

කුඩා දරුවෙකු හෙයින් ඔහුට අනුව සිතුවිලි ක‍්‍රියාදාමයන් ඇති වන බවත් එම ක‍්‍රියාවලිය පෝෂණය  කළ යුත්තේ සොබාදහම අනුව බවත්ය.

රූසෝ තව දුරටත් ප‍්‍රකාශ කර ඇත්තේ වැඩුණු අයගේ  ක‍්‍රියාකාරකම් හා පිළිවෙත් කුඩා දරුවන්ට ආදේශ කිරීමට යාම තරම් මෝඩ ක‍්‍රියාවක් වැඩිහිටියන්ට ඇත්තෙම නැත යනුවෙනි. විධිමත් අධ්‍යාපන ක‍්‍රමයේ ප‍්‍රතිඵල වන නූතන දෙමාපියන් දරුවන්ට පොත පත ඉගැන්වීමට ප්‍රථම ඉන්ද්‍රිය සංවර්ධනය සහ සහේතුක  සිතීමේ හැකියාව වර්ධනයට පළමු අවස්ථාව සලසාදීමට කටයුතු කළ යුතුය. ඒ සඳහා දරුවන්ට උරුම ස්වභාවික පරිසරය නිසි පරිදි ප්‍රයෝජනයට ගැනීමට දරුවන්ට අවස්ථාව ලබා දිය යුතුය.

කුමක් නිසාද යත් අපේ කුඩා දරුවන් ඔවුන්ට උරුම ස්වභාවික පරිසරයේ ජීවත් කරලීමත් ස්වභාව ධර්මය ඇසුරෙන් සංජානනය නොහොත් ඉන්ද්‍රියන් පිහිට කොට ගෙන බාහිර වස්තූන් හැඳින ගැනීම හා ප‍්‍රජානන නොහොත් දැනීම, හැඳිනීම, නුවණ ආදී ක්‍රියාවලියන්  ළමයා ගේ ළමා කාලයේදී ඉතා වැදගත් අවදි නිසා වෙනි. පසිදුරන් පරිසර උත්තේජන සමග ගැටී සිත සමග සම්බන්ධ වීමෙන් මානසිකව සිදු වන පණිවුඩ හුවමාරුව නොහොත් සංජානනය ප‍්‍රසාරණය වනු ඇත. සැබැවින්ම සංජානනය (Perception) දරුවන්ගේ ප‍්‍රජානන වර්ධනයේආරම්භයයි.

ළදරු හා පෙර පාසල් වියේදී ළමයින් වයසින් වැඩෙත් ම බුද්ධියේ වැඞීම ද වඩා වේගවත් බව හෙළිදරව් කළ ළමා මනෝ විද්‍යාඥයන්ට අමතරව ස්විස් ජාතික ළමා මනෝවිද්‍යාඥ ජින් පියජේට අනුව (Jean) ප‍්‍රජානන වර්ධනය යනු සංවිධානය සහ අනුවර්තන ක‍්‍රියාවලියේ සමතුලිත බවයි. ළමා මනෝ විද්‍යාඥ පවෙල් බෝලොන්ස්කි (Petrovich Blonksky)  ප‍්‍රකාශ කරනුයේ  ඕනෑම මානව සමාජයක කුඩා දරුවන් තමන් අතට අසුවන සෑම දෙයක්ම බිම දමා තලා දමන්නෙත් මුත‍්‍රා, ජලය හෝ තමන්ට ලබා දුන් පානයක් බිමට හැලූණ විට අතින් තලමින් නොයෙකුත් ක‍්‍රියාකාරම් කරන්නේ පරිසරය තමන්ට අවශ්‍ය ආකාරයට සකසා ගැනීමේ මුල් අත්දැකීවශයෙන් බවය.

එංගලන්තයේ ගණිතය පිළිබඳව අධ්‍යාපනඥයකු වූ රිචර්ඞ් ආර් ස්කෙම්ප්ට (Richard Skimpt)  අනුව දරුවා පරිසරය සමග කරන අන්තර් ක‍්‍රියාකාරීත්වය මනසේ මනෝ රටා ස්කිමා (Schema) ඇතිවීමට හේතු වනබවයි.

අනෙක් අතට අලූතින් දරුවන් ලබන අත්දැකීම් මත උක්ත මනෝ රටා ප‍්‍රසාරණය වන බව තව දුරටත් ප‍්‍රකාශ කර ඇත. වඩා වැදගත්වන මස්තිෂ්ක සහ මානසික සංවර්ධනයෙ තීරණාත්මක හෝ සංවේදී අවදියක් ද දරුවන් පසුකරන බව නොයෙක් මනෝ විද්‍යාඥයන් ප‍්‍රකාශ කර ඇත.

වයස 02 – 04 අතර භාෂාව ද

අවු.07 දක්වා චින්තනයේ වර්ගීකරණය සහ සංජානනයයේ වැඩිදියුණු වන අවස්ථාවලෙස දක්වා ඇත.

වයස අවුරුදු 12 -15 අතරතුර භාෂාවේ වැඩිදුර වර්ධනය තීරණාත්මක අතර ඉන් පසු එළඹෙනුයේ චින්තනයේ සාමාන්‍යයකරණය ද, තාර්කික,විද්‍යාත්මක හා යතාත්‍ය වැඩිහිටි අවදියයි.

නූතන ලෝකයේ විශිෂ්ට වාග් විද්‍යාඥයා වන අමෙරිකානු මහාචාර්ය  Aviram  Noam Chomsky ප‍්‍රකාශ කරනුයේ,

වයස 04 – 16ත් අතර කාලයේ දී  ළමයින්ට සහජයෙන්ම භාෂා 06ක් ඉගෙන ගැනීමට හැකි බවයි. සම්භාව්‍ය ග‍්‍රීක දාර්ශනික ප්ලේටෝගේ Utilitarianism and education උපයෝගීතාවය සහ අධ්‍යාපනය පිළිබඳව නැවත විමර්ශනයක යෙදුණ ග්‍රීක දාර්ශනික පෙළපතේ කැනඩාවේ අධ්‍යාපන දර්ශනවේදී මහාචාර්ය රොබින් බැරෝ Robin Barrow  තම කෘතියෙන්  විස්තර කරන අධ්‍යාපන පරමාර්ථ මෙසේය.

01. අධ්‍යාපනයේ මූලික පරමාර්ථය සමාජශීලි සංස්තෘප්ත රට වැසියන් බිහිකිරීමයි. උක්ත අභිප‍්‍රාය සමස්තයක් ලෙස ඉටුවිය හැක්කේ යහපත් චරිත ලක්‍ෂණ හා උදාරවරණය ළමුන් තුළ පෝෂණය කෙරෙන ආකල්ප පුහුණු කිරීමෙනි.

02. ළමයෙකු විසින් ලැබිය යුතු අධ්‍යාපනයේ ස්වරුපය තීරණය විය යුත්තේ ඔහුගේ ම  කැමැත්තෙනි. එසේම ඔහු ජීවත් වන සමාජයේ අවශ්‍යතා මිනුම් දඬු අනුවය.

03. තමන් ජීවත් වන සමාජයේ සමාජ පරිසරයට ගරු කිරීමටත් ඒවාට අනුව ජීවත්වීමටත් කුඩා කාලයේ සිට සෑම ළමයෙකු ම අධ්‍යාපනය මගින් පුහුණු කළ යුතුය.

සමස්ථ සමාජයම බියෙන් සැකයෙන් තොරව සාමයෙන් සමගියෙන් ප‍්‍රීතියෙන් සියලූ දෙනාට ජීවත් වීමට අවශ්‍ය පරිසරය ගොඩනැඟීම සිදුවන්නේ  ඒ අනුවය.

සැබැවින්ම ළමයින් ලෝකය දකින ආකාරය වැඩිහිටියන් ලෝකය දකින ආකාරයට වඩා අතිශයින්ම වෙනස්ය. අහසේ  පියාඹන කුරුල්ලන්,  මුහුදේ  පිහිනන මාලූන් ලොව දකින්නේ, තේරුම් ගන්නේ කෙසේද ඊට ඉතා වෙනස් ආකාරයටයි අනෙකුත් සතුන් ලොව දකින්නේ. එම වෙනස සාමාන්‍ය මිනිස් දැනීමට හෝ හදවතට අවබෝධ කර ගැනීමට කිසිසේත් නොහැකිය. මිනිසා ජීවත් වන ලෝකය එකම ග‍්‍රහ ලෝකයක් වුවත් මිනිසා එය තේරුම් ගන්නේ තමන්ට අවබෝධ වන හෝ අවබෝධ කරගැනීමට සැලැස් වූ අකාරයටයි. ඒ අනුව පැහැදිලි වනුයේ මිනිසාගේ  අත්තිවාරම ගුරුවරුන් බවයි.

පාසල හා සමාජය The School and Society යන කෘතියේ කතෘ අධ්‍යාපන මනෝ විද්‍යාඥජෝන් ඬේවී මෙසේ ප‍්‍රකාශ කර ඇත. ළමයා වැඩිහිටියා අතර වෙනස මැනවින් හඳුනා නොගත් පුද්ගලයන් ළමා අධ්‍යාපනය සඳහා කිසිසේත් සුදුසු නොමැති බවයි. එම නිසා දරුවන්ගේ ලෝකය දෙස දෙමාපියන් වඩාත්අවධානය යොමු කළ යුත්තේ යම් තරකට හෝඅධ්‍යාපන මනෝවිද්‍යාව පිළිබඳ දැනීමක් ඇතිවය. මේ වැඩසටහන එහි ආරම්භක පියවරකි.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*