තිස් අවුරුදු කාලකණ්ණි යුද්ධයේ විල්පත්තු අතුරු කතාව..!

Spread the love

විල්පත්තු මිනිසුන්ගේ මනුස්සකම ඉතිරෙන අතීත කතාව..!

විල්පත්තුව සමාජ මාධ්‍යයේ ලොකු මාතෘකාවක් බවට පත්වී ඇත. මේ විල්පත්තුව පිලිබඳ කතාවත් තිස් අවුරුදු කාලකණ්නි යුධයේ අතුරු කතාවක් බවත් මන්නාරම් දිස්ත්‍රික්කයේ පදිංචිව සිටි මුස්ලිම් ජනයා උතුරෙන් මුස්ලිම්වරු ඉවත් කිරීමේ ප්‍රභාකරන්ගේ කුරිරු තීරණයත් සමග පැය කීපයක් තුළ පලවා හැරිය බවත් එසේ පළවා හැරි මුස්ලිම් ප්‍රජාව කල්පිටියේ හා පුත්තලමේ සරණාගත කඳවුරුවල අවුරුදු විස්සකට ආසන්නව ජීවත් වූ බවත් දැන් ඉතිහාසයට එක්වී හමාරය.

මුස්ලිම් ජනතාවගේ අසහාය නායකයාව සිටි දිවංගත එම්. එච්. එම්. අෂ්රොෆ් ඇමතිතුමා විසින් සරණාගත ගැටලුව විසඳීමට ඔවුන් පුත්තලමේ පදිංචි කරවන ලෙස එවකට පැවැති රජයට යෝජනා කළද දිස්ත්‍රික්කයේ ජන සංයුතිය වෙනස්වන බැවින් ඊට ඉඩදිය නොහැකි බවට රජය තීරණය කළේය. 

එම්.එච්.එම්. අෂ්රොෆ් මහතා එය පිළිගෙන ඔවුන් සරණාගතයන් ලෙස දිගටම සිටියදී ඔවුන්ට පහසුකම් සැපයීමට ක්‍රියා කළේය. උතුරු නැගෙනහිර එවක පිහිටි පලාත් සභාවේ විශේෂ කොමසාරිස්වරයෙකු ලෙස අප මිත්‍ර මුයුනුදීන් නම් පරිපාලන සේවා නිලධාරියාව පත්කර සරණාගතයන්ට පහසුකම් සැලසීමේ වැඩපිළිවෙළ ඇරඹුනේ ඉන්පසුවය.

මුයිනුදීන් මහතාද සිය පවුලේ අය සමග මන්නාරමෙන් අවතැන්වූ අයෙකි. ඔහුගේ ආදරණීය පියා, මව, සොයුරිය සහ සොහොයුරා සමග ඔහු කලක් අපගේ අම්පාර නිල නිවසේ අසල්වාසින්ව සිටියේය. සිංහල භාෂාව හරි හැටි නොදත් අප මිත්‍රයාගේ පියාත් මවත් දෙදෙනාම ඇතැම් දිනවල තනිවම නිල නිවසේ සිටි මාගේ කෑම වේල ගැන උනන්දුවූ අයුරු දැනුදු සිහිපත් වේ.

මගේ බිරිඳ දරුවා සමග කොළඹ රාජකාරිවලට ගිය ඇතැම් සති අන්ත නිල නිවසේ තනිවම ඉන්නා මාගේ දිවා රාත්‍රි ආහාරවේල මුයිනුදීන්ගේ මව විසින් සකස්කර පියා අත නිවසට එවීම පුරුද්දක් විය. මගේ දෙමළ දැනුම ඒ පියාගේ සිංහල දැනුම මෙන් වූ බැවින් අපි දෙදෙනාගේ සන්නිවේදනය සිංහලත් නොවූ දෙමළත් නොවූ අපි දෙදෙනාට පමණක් තේරෙන අමුතුම භාෂාවකින් සිදුවූ බවද මතකය. මුයිනුදීන්ගේ බාල සොහොයුරා අප දියණියන්ගේ “තම්බි අයියා” විය. සොයුරියන් අප බිරිඳගේ මිතුරියන් වූහ.

පුත්තලමේ සරණාගතයින් නිසා උතුරු නැගෙනහිර දේශපාලන ගැටලුවේ විසඳුමේ අනිවාර්ය කොටස්කරුවෙක් බවට පත්වීමට එම්. එච්. එම්. අෂ්රොෆ් මැතිතුමාට හැකිවිය. උතුරු- නැගෙනහිර ස්ථාවරව එකතු කිරීමේ යෝජනාව ජ්‍යාත්‍යන්තර විසඳුම්කරුවන් ගෙන එනවිට රටේ තුන්වන ජනවර්ගය නියෝජනය කරමින්එම්.එච්.එම්. අෂ්රොෆ් මැතිතුමා ඊට විරෝධය පෑවේ මුස්ලිම් ජනයාගේ ආරක්ෂාව එවිට නැතිවිය හැකි බවට උදාහරණය පුත්තලමේ සරණාගතයින්ගෙන් පෙන්වමිනි. ජාත්‍යන්තරයට පිළිතුරක් දිය නොහැකි විරෝධයක් නඟා ඊලම ව්‍යර්ථ කිරීමට ඔහු කළ මෙහෙයද අද ඉතිහාසයට එක්වී ඇතිබව බොහෝ දෙනා නොදනී.

විල්පත්තුව හා අවට ආරක්ෂිත කලාපයෙන් පිටත වනගතවූ ගම්බිම්වල ජීවත්වූවන්ගේ ඉඩම්වල හමුදා කඳවුරු පිහිටුවා ඇති බවත්, තැනින් තැනවූ හුදකලා ගම් සියල්ලේම පදිංචි කිරීම් නොකර යුද සමයේ බිම් බෝම්බ තර්ජනයට පිළියම් ලෙස මීටර් සීය දෙසීය සම්පූර්ණයෙන් වනය ශුද්ධ කල මාර්ග දෙපස ඇතුලත්වන පරිදි ඉඩම් නිදහස්කර අවතැන්වී දීර්ඝ කලක් සරණාගතවූවන් පදිංචි කරවූ බවත් මෙය ජනතාවගේ භූමියට වූ අයිතිය තහවුරු කිරීමක් මිස විල්පත්තුව විනාශකිරීමක් නොවන බවට වන කරුණු වැඩිදෙනෙකු ගණන් නොගන්නා බවත් පෙනේ.

මේ අවතැන්වූවන්ගේ ගැටලුවකට වඩා ඔවූන්ගේ දේශපාලන නායකයාගේ බලය පෙන්වීමක් සේ විශ්වාස කිරීමට වැඩිදෙනා කැමති බවත් පෙනේ. මෙම දේශපාලන නායකයාද අවතැන්වූ සරණාගතයෙකි. ඔහු පමණක් නොව නූර්දීන් මසූර් නම් තවත් සරණාගත නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ද මේ ප්‍රජාවගෙන් පත්ව සිටි බවද බොහෝ දෙනා නොදනිති.

යුද සමයේ 1993-1995 කාලයේ ප්‍රාදේශීය ලේකම්වරයෙක් ලෙස මා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහායෙන් මහඔය ප්‍රාදේශීය ලේකම් කොටසේ අම්පාර මාර්ගයේ නුවරගල රක්ෂිතය එළි පෙහෙළි කර මිනිසුන් පදිංචි කළෙමි. මට පෙර අම්පාර දිසාපති ධුරය හෙබවූ එල්. එස්. සී. සිරිවර්ධන එවක උහන ප්‍රාදේශීය ලේකම්තුමා ද මංගලගම සිට පුලුකුනාව දක්වා රක්ෂිතයේ පාර දෙපස පවුල් සීයක් පදිංචි කලේ ඊට සමගාමීවය. මගේ මිත්‍ර ජිනසිරි දඩල්ලගේ මහතා ඊට පෙර බෝගමුයාය වන රක්ෂිතය ශුද්ධ කර බෝගමුයායගම තුන් වරක් ස්ථාපිත කරේ කොටින් තුන් වරක් එ’ගම් වැසියන් ඝාතනය කර එලවා දැමීමට උත්සාහ කල බැවිනි.

1985 ගූගල් සිතියමේ මහඔය අරන්තලාව හරහා පියංගල දක්වා මාර්ගය පරීක්ෂා කළ හොත් බොරපොල ගමේ සිට කිලෝමීටර් පහක් හයක් තේක්ක කැලය මැදින් අම්පාර පැත්තට පිහිටි මාර්ගයේ කුඩා අරන්තලාව ගමත්, එතැන සිට කිලෝමීටර් දෙකක් පමණ තේක්ක කැලයෙන් වටවූ මාර්ගයත්, යළි නුවරගල තැන්න නම් ගෙවල් පහ හයකින් යුතු ගම් ගොඩැල්ලත්, එතැන් සිට යළිත් කිලෝමීටර් හය හතක් වනය පසුකල පසු මංගලගම ගමත්, එතැනින් මඳක් යන විට කුඩා කොගොඹගස්තලාව ගමත්, එතැන් සිට පියංගල දක්වා වනය මැදින් දිවෙන මාර්ගයත් දැක ගත හැකිවෙනු ඇත.

ඉන්පසු වර්තමාන ගූගල් සිතියම බැලූවිට බොරපොල සිට පුලුකුණාවදක්වා එකම ගෙවල් යායක් දැක ගත හැකිවෙනු ඇත. මේ නුවරගල රක්ෂිතය දෙපලු කළෝ කවුරුන්ද? මහඔය උහන ප්‍රාදේශීය පරිපාලනයේ නිලධාරින්, යුද ගුවන් එස්ටීඑෆ් නිලධාරීන් ඇතුළු අම්පාරේ පරිපාලනය මීට සම්බන්ධය.

එදා මා කළ කොටස ගැන අදටද සතුටුවෙමි. එදා අපි කල ක්‍රියාවන් නිසා ජීවිත දහස් ගණනක් රැක ගැනීම, අම්පාර ප්‍රධාන සැපයුම් මාර්ගය ආරක්ෂා කර ගැනීම, අම්පාර සිංහලයින් ත්‍රස්තවාදයෙන් (මන්නාරම මුස්ලිමුන් මෙන්) පළවා හැරීමෙන් වළකා ගැනීමේ රණවිරුවන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් කල අසීරු ක්‍රියාවට රුකුලක් දීමට පුළුවන්වීම ගැන අතිශය සතුටු වන්නෙමි. අනාගතයේ විල්පත්තුව මෙන් නුවරගල රක්ෂිතය විනාශ කිරීම ගැන විත්තිකරුවන් වීමට වුවද අපට සිදු වුවත් ගැටලුවක් නොමැත. මේ පරිද්දෙන් හබරණ ත්‍රිකුණාමලය මාර්ගයද වනය ඉවත් වී සංවර්ධනය වූ බව අවුරුදු දොළහක්ම ඒ මාර්ගයේ මාස්පතා ත්‍රිකුණාමලයේ රාජකාරිවලට ගිය මම හොඳින්ම දනිමි. ඒ වන විනාශය ගැනද කිසිවෙක් ගැටලු මතු නොකරයි.

වවුනියාව, පදවිය, පුල්මුඩේ ආදී උතුරු නැගෙනහිර යුද කලාපයේ මෙසේ වනය වෙනුවට බොහෝ ගම් බිම් ඉදිවී තිබියදී රටේ කිසිදු විරෝධයක් නොමැති වාතාවරණයක මන්නාරමේ නැවත පදිංචි කිරීම් ගැන මෙතරම් විරෝධයක් නැගෙන්නේ වනය නම් විල්පත්තුවය. විල්පත්තුව නම් වනයය. සිරිලක උතුරු නැගෙනහිර අනෙකුත් වනයන් වනන්තර නොවන්නේ යැයි පිළිගැනීමක් ඇති නිසා යැයි සිතේ!


(සුනිල් කන්නංගර -කොළඹ දිස්ත්‍රික් ලේකම්)


Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*