ත්‍රිවිධ හමුදාවයි-පොලීසියයි රටේ ආරක්ෂාව තහවුරු කළා..!

Spread the love


ජාත්‍යන්තර ත්‍රස්තවාදය මර්දනය කරන්න රජය සූදානම්..!

කිනම් තත්ත්වයක් යටතේවත් විදුලිය කප්පාදුවක් නැහැ..!

සුදුස්සාට සුදුසු තැන නොදුන්නොත් රටට අනාගතයක් නැහැ..!

සුළු පිරිසක් කකුලෙන් අදිනවා..!

(නිලන්ති මානෙල්)

කුරිරු ජාත්‍යන්තර ත්‍රස්තවාදය පරාජය කිරීමට රජය ජාත්‍යන්තරයේ ද සහය ඇතිව අවශ්‍ය සියලු ක්‍රියා මාර්ග ගෙන ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ උප නායක,විදුලි බල,බල ශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කර සිටියි.

රටේ ආරක්ෂාව තහවුරු කරමින් ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය මේ වන විට සමත්ව සිටින බව ද හෙතෙම පෙන්වා දෙයි.

ඔහු මේ අදහස් පළ කළේ, ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරයට ලක්ව රෝහල්ගතව ප්‍රතිකාර ලබන පිරිසකගේ සුවදුක් විමසීම සදහා සිකුරාදා (03) පස්වරුවේ කොළඹ ජාතික රෝහලට පැමිණි අවස්ථාවේදී ජන මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු සපයමිනි.

යම් යම් අය කුමන්ත්‍රණශීලීව කටයුතු කරනවා අපේ වැඩ කටයුතු කඩාකප්පල් කරන්න. නමුත් අප ආණ්ඩුවක් වශයෙන්,ලංකා විදුලි බල මණ්ඩලයේ අදාළ අංශයන්ට උපදෙස්දීලා තියෙන්නේ මේ කාර්යය නිසි පරිදි ඉටු කරන්න.

සමස්ත කැබිනට් මණ්ඩලයම මේ දෙස විමසිලිමත්ව බලා ගෙනයි ඉන්නේ. අපේ කටයුතුවලට දෙන්නෙක් තුන් දෙනෙක්  හරස් වෙනවා.  කුමන හෝ බාධාවක් ඇති වුණොත්, මමයි සෘජුවම ඇවිත් කියන්නේ කවුද ඒ බාධාව ඇති කළේ කියලා.

අපට අවශ්‍ය වන්නේ අඛණ්ඩ සේවයක් සැපයීමයි. හදිසි විදුලිය මිලදී ගැනීමේදී මීට ඉහත වතාවන්වලට වඩා මිලෙන් අඩුවටත්, විශේෂයෙන් දැනට ජනනය කරන මිලටත් වඩා අඩුවෙන් ප්‍රථම වතාවට අපට මිලදී ගැනීමට හැකිවීම තමයි අපට තිබෙන ලොකුම සතුට.කුමන තත්ත්වයක් යටතේ වුවත්, විදුලිය අඛණ්ඩව දෙන්න අප කටයුතු කර ගෙන යනවා.

රටේ උද්ගතවූ  වාතාවරණය හමුවේ,  විදුලි පාරිභෝගික ජනතාවට අඛණ්ඩ විදුලි සේවාවක් සැපයීම අරමුණු කර ගනිමින්, ත්‍රිවිධ හමුදාවේ සහ ශ්‍රී ලංකා පොලීසියේ සහාය ඇතිව  සමස්ත විදුලිබල පද්ධති ජාලයටම අප  දැඩි ආරක්ෂාවක් සපයා තිබෙනවා.

ඒ අනුව රටේ ස්ථාපිත විදුලි බලාගාර,  ඒ ආශ්‍රිත ජලාශ, සම්ප්‍රේෂණ මාර්ග පද්ධති, පද්ධති පාලන මධ්‍යස්ථාන සහ ග්‍රිඩ් උප පොළවල්වලද ආරක්ෂාව තර කර තිබෙනවා.

මරා ගෙන මැරෙන කෲර ත්‍රස්තවාදී  බෝම්බ ප්‍රහාරයෙන්  තුවාල ලැබූ අයගේ සුවදුක් සහ අවශ්‍යතා වගේම  රෝහලෙන් සිදු වන සේවය පිළිබදව සොයා බැලීමටයි මම මේ ස්ථානයට පැමිණියේ.

ඒ හදිසි අවස්ථාවේ අපේ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ජාතික රෝහල් කාර්ය මණ්ඩලය විසින් ක්‍රියා කළ ආකාරය සම්බන්ධයෙන් ගොඩාක් සතුටුයි. අපේ අසරණ අහිංසක ජනතාව යාඥා කරන අවස්ථාවේ සිදු කළ ඒ කුරිරු ත්‍රස්තවාදී ක්‍රියාව සම්බන්ධයෙන්  අපේ කණගාටුව ප්‍රකාශ කරනවා.

රටේ වර්තමාන තත්ත්වය පාලනය කිරීමට අප අපේ ආරක්ෂක හමුදාවන්ට භාරදීලා තිබෙනවා. ඒ අය හැකි උපරිමයෙන් සෝදිසි මෙහෙයුම් සහ ඒ ඒ තත්ත්වයන් විමර්ශනය කරමින් රට සහ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටිනවා.

අපට අහිමි වූ ජීවිතවල වටිනාකම  මුදල්වලින් මිල කරන්න බැහැ. නමුත් නැති වූ ජීවිත නැවතත් අපට ලබාගත නොහැකි නිසා, අපගේ කණාටුව ප්‍රකාශ කිරීමක් වශයෙන් මිය ගිය පුද්ගලයෙක් වෙනුවෙන් ලක්ෂ 10ක් සහ සිද්ධියෙන් තුවාල ලැබූ  පුද්ගලයන් වෙනුවෙන් ඒ අය මුහුණ දී සිටින  තත්ත්වයේ  බැරෑරුම්කම අනුව කොටස් තුනක් යටතේ වන්දි ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.

රටේ පවතින මේ අර්බුධකාරී තත්ත්වය තුරන් කිරීම සදහා ජනාධිපති, අගමැති සහ  විපක්ෂ නායක මේ වන විට අනුගමනය කරන එකමුතු වැඩ පිළිවෙළ වඩාත් වැදගත් වනවා.

ඒ  වගේම පසුගිය සමයේ රටේ තිබු යුදමය වාතාවරණය ජයග්‍රහණය කළ සරත් ෆොන්සේකා මහතාගෙනුත් අවශ්‍ය තොරතුරු සහ  ඒ මහතාගේ සහයෝගය ද  ලබා ගෙන මේ පවතින  ගැටලුකාරි තත්ත්වයට විසදුම් සෙවිය යුතුයි.

රටේ ආර්ථිකය,ජාතික ආරක්ෂාව,දේශපාලනය,සමාජය සහ සංස්කෘතිය ඇතුළු සියලු අංශ ආවරණය වන පරිදි අප සමග ඇති තරම් දක්ෂයින් සිටිද්දී ඒ වගකීම් අදක්ෂයින්ට පවරා  කටයුතු කිරීම මේ රටේ තිබෙන දුර්වලතාවයක් බව කිව යුතුයි.මේ තත්ත්වය වහාම නිවැරදි නොකොළොත් රටටත් ජනතාවටත් අනාගතයක් ඇත්තේ නැහැ.

මේ අවස්ථාවේදී අප කළ යුත්තේ, එකිනෙකාට දොස් පැවරීම නොවෙයි. පළමුව අප ගැටලු විසදා ගෙන නැගී සිටිය යුතුයි. මනුෂ්‍යභාවයක් නොමැති අමානුෂික කුරිරු ත්‍රස්තවාදය සහ අන්තවාදය අප පරාජය කළ යුතුයි. 

මේ මොහොතේ අප මුහුණ දී සිටින්නේ ජාත්‍යන්තර දරුණු ත්‍රස්තවාදයකට බව කිව යුතුයි.ජාත්‍යන්තරයේ ද සහය ඇතිව එම ජාත්‍යන්තර ත්‍රස්තවාදය පරාජය කිරීමට අවශ්‍ය සියලු පියවර අප මේ වන විට ගෙන තිබෙනවා.

දේශපාලඥයෝ වශයෙන් අප මේ මොහොතේ කළ යුත්තේ බිය සුළුව හැංගී සිටීම නොව එළියට ඇවිත් නායකත්වය දී, මේ තත්ත්වය අවසන් කිරීමට පියවර ගැනීමයි.

ඇමරිකාව, එංගලන්තය, ජර්මනිය, ප්‍රංශය වැනි  රටවලටත් එල්ල වූ මේ ජාත්‍යන්තර ත්‍රස්තවාදී බලපෑම මේ පුංචි ශ්‍රී ලංකාවට ඇති නොවෙයි කියලා හිතන්න අමාරුයි.

හැබැයි එහෙම කියලා මෙවැනි සාපරාදී ක්‍රියා සිදු වෙන තුරු  බලා සිටීම  නෙමෙයි කළ යුත්තේ. මේ අවස්ථාවේදි ආවේගශීලී නොවි, ඉවසිලිවන්ත භාවයෙන් යුක්තව මේ ගැටලු විසදා ගත යුතුයි.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*