ඩිජිටල් සටහනක් ඔස්සේ දියණිය සොයා යන පියෙක්..!

Spread the love

කැලිෆෝනියාවේ සැන් ජෝස්හි වෙසෙන ඩේවිඩ් කිම් තම බිරිය සහ දියණිය සිටින ඡායාරූප සහ වීඩියෝ නරඹින් සිටියි. කිම්ගේ බිරිය ජීවතුන් අතරින් සමුගත්තේ මීට වසර දෙකකට පමණ ඉහතදීය. මවගේ වියෝව සමඟින් දහසය හැවිරිදි දියණිය මාග්‍රට්, පියාගෙන් තරමක් දුරස් වේ. එක් දිනෙක මාග්‍රට්, පාඩම් කිරීම සඳහා මිතුරියකගේ නිවෙසෙට යන අතර අනතුරුව ඇය විසින් ගන්නා දුරකථන ඇමතුම් කිහිපයකටම පිළිතුරු ලබා දීමට කිම් හට නොහැකි වන්නේ ඔහු තද නින්දේ පසුවීම හේතුවෙන්. පසුදා උදෑසන දියණිය දකින්නට නොමැති වුවත් ඇය පාසල් යන්නට ඇති බව කිම් අදහස් කරයි. පසුව කිම් ඇයගේ පියානෝ උපදේශකවරයාට ගත් ඇමතුමෙන් තුෂ්නිම්භුත වන්නේ, මාස හයකින් ඇය පියානෝ පුහුණුවීම් වෙනුවෙන් නොපැමිණි බව දැනගැනීමෙන්. නමුත් ඒ වෙනුවෙන් සෑම මසකම මාග්‍රට් හට මුදල් ලබා දුන් බව ද කිම්හට සිහිපත් වේ.

දියණියගේ අතුරුදන් වීම ගැන පොලිසියට දැන්වීමෙන් පසු එය භාර වන රහස් පරීක්ෂකවරියට දැන ගැනීමට ලැබෙන්නේ මවගේ වියෝවෙන් පසු මාග්‍රට් මිතුරු මිතුරියන් ගෙන් පවා දුරස් වී සිටින බවයි. පැය තිස් හතක් ගත වූ පසුවත් දියණිය පිළිබඳ කිසිදු තොරතුරක් දැනගත නොහැකි වූ තැන කිම්ගේ අවධානය යොමු වන්නේ, මෙතෙක් කිසිවෙකුගේ අවධානය යොමු නොවුණු මාග්‍රට්ගේ ලැප්ටොප් පරිගණකය වෙතටයි.

Searching  චිත්‍රපටය දිවෙන්නේ මේ ඔස්සේය. අති නවීන තාක්ෂණික උපක්‍රම සහිත ත්‍රාසජනක චිත්‍රපටයක් ලෙසින් එය රිදි තිරයේ දිග හැරෙන්නේ අපි එදිනෙදා භාවිතයට ගන්නා සන්නිවේදන උපකරණ සමඟින්. ඒ අනුව චිත්‍රපටය පුරා වැඩිවශයෙන් පරිගණක සහ ජංගම දුරකථන තිර දකින්නට ලැබීම විශේෂත්වයක්. නිවෙසේ පටිගත කළ වීඩියෝ සහ දුරකථක කෙටි පණිවුඩ සංවාද ඔස්සේ අන්තර්ජාල වංකගිරියේ සැරිසරමින් කිම් තම දියණිය සොයා යන ගමන Searching  චිත්‍රපටයෙන් දැකබලා ගත හැකියි.

මෙහි කිම්ගේ චරිතයට පණ පොවන්නේ කොරියානු සහ අමෙරිකානු සම්භවයක් සහිත නළුවකු වන ජෝන් චෝ විසින්. මිචෙල් ලා මාග්‍රට් ලෙසත්, ඩෙබාරා මෙසෙන්ග් රහස් පරීක්ෂකවරිය ලෙසත් චරිත නිරූපිත අතර සාරා සෝන්, ජෝෂප් ලී, ස්ටීවන් මයිකල්, රික් සර්බියා, ශෝන් ඕබ්‍රයන් ඇතුළු පිරිසක් සෙසු චරිත නිරූපණය කරති. Searching  චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ, ඉන්දීය සම්භවයක් සහිත අමෙරිකානු චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන 28 හැවිරිදි අනීෂ් චගන්ති විසිනි.

Searching  චිත්‍රපටය අනීෂ්ගේ කුලුඳුල් වෘත්තාන්ත චිත්‍රපටය යි. එය රචනයටද සෙව් ඔහනියන් සමඟින් ඔහු සම්බන්ධ වී ඇත. Searching  චිත්‍රපටය වෙනුවෙන් අනීශ් සෝන්ඩන්ස් චිත්‍රපට උලෙළේ සම්මාන ද්විත්වයකින් ද පිදුම් ලැබීය. පසුගිය වසරේ අගෝස්තු මස සිට තිරගත කෙරුණු Searching  චිත්‍රපටයේ නිෂ්පාදන පිරිවැය අමෙරිකානු ඩොලර් එකකි. මේ වනවිට එය අමෙරිකානු ඩොලර් 75.5ක ආදායමක් උපයා ගෙන ඇත.

Searching  චිත්‍රපටය ආදායම් අතින් සේම විචාරක පැසසුම් ද ඉහළින්ම ලද චිත්‍රපටයක් බවට පත් වී තිබේ. රොට්න් ටොමැටෝස් ප්‍රමුඛ විචාරය පවසා සිටින්නේ, කාලෝචිත තේමාවක් සමඟින් අපූර්ව නිර්මාණයක් ලෙස මෙම චිත්‍රපටය දක්ෂ රංගන ශිල්පීන්ගේ දායකත්වයෙන් මනා ලෙස ඉදිරිපත්කර ඇති බවයි. හැඟීම්බර සිදුවීම් ඇතුළත් හොඳීන් ස්ථානගත කළ අභිරහස් ත්‍රාසජනක චිත්‍රපටයක් සේම කුතුහලය සමඟින් හිතවලට කා වදින ලෙසින් එය නිර්මාණය කර ඇති බවත් විචාරක අදහස් අතර වේ. ‘සෑම තැනම ඩිජිටල් සටහන් තබා යන අපේ රහස් අනාරක්ෂිත වූ විටදී අප ද අනාරක්ෂිතයි’ යන්න මනාව පසක් කර දෙන අතිශයෙන්ම සිත් ඇදගන්නා සුලු චිත්‍රපටයක් බව විචාරකයෝ පවසා සිටිති.

(උපුටා ගැනීම සරසවිය පුවත්පතින්)

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*