ජේ.ආර් පසු පස “රාජා” ලුහුබඳියි..!

Spread the love

ජේ.ආර් ගේ කාමරයට වඳුරෙකු පනී..!

අයිස්ක්‍රීම් කන්දක්ම එක හුස්මෙට ගිලලා..!

තනිවම ආහාර ගැනීමට මැලි වූ ජේ.ආර්..!

මහනුවර “පැවිලියන්” මන්දිරය වටා ගෙතුණු ජේ.ආර් ගේ අතීත රස කතා..!

(රංජිත් ගුණවර්ධන)

ශ‍්‍රී ලංකා ඉතිහාසයේ වැදගත් සිදුවීම් සහ සම්බන්ධ වූ මන්දිර අතර රටේ පාලකයන් විසින් ඔවුන්ගේ නිල නිවාස ලෙස භාවිතා කළ ගොඩනැඟිලිවලට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. බි‍්‍රතාන්‍ය පාලන යුගයේ දී “පැවිලියන්” මන්දිරය නමින් හැඳින් වූ වත්මන් ජනාධිපතිවරයාගේ මහනුවර නිල නිවාසය විශේෂ වැදගත්කමක් දරන්නේ මෙරට ආණ්ඩුකාරවරුන් සේම ජනාධිපතිවරුන් විසින් ද වැඩියෙන්ම පරිහරණය කරන ලද ප‍්‍රාදේශීය නිල නිවාසය එම මන්දිරය වූ බැවිනි.

බි‍්‍රතාන්‍ය ඔටුන්න නියෝජනය කරමින් ආණ්ඩුකාරවරුන් විශාල පිරිසක් දිගින් දිගටම පැවිලියන් මන්දිරය සිය නිල නිවෙස කර ගනු ලැබූ අතර බි‍්‍රතාන්‍යයේ රාජ්‍යත්වයට පත් රජවරුන්ගේ සිට වත්මන් එළිසබෙත් මහා රැජිනගේ කාලය තෙක්ම එම නියෝජිත පරපුර පැවත ආ අතර එවකට ලක්දිව ආණ්ඩුකාරවරයා වූයේ හෙන්රි මේසන් මුවර්ය.

ශ‍්‍රී ලංකාව 1948 පෙබරවාරි 4 වන දින නිදහස ලබා ගැනීමෙන් අනතුරුව ලක්දිව ප‍්‍රථම අග‍්‍රාණ්ඩුකාරවරයා ලෙස සෝල්බරි සාමිවරයා පත් වූ අතර අනතුරුව ශ‍්‍රීමත් ඔලිවර් ගුණතිලක සහ විලියම් ගොපල්ලව මහත්වරු ද පිළිවෙළින් පත් වූහ.

1972 වසරේ දී ශ‍්‍රී ලංකාව ජනරජයක් බවට පත්වීම..!

1972 වසරේ දී හඳුන්වා  දුන් නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ ජන රජයක් බවට පත් වූ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම ජනාධිපතිවරයා වූයේ විලියම් ගොපල්ලව මහතාය. එම ජනාධිපති තනතුරු නාමමාත‍්‍රික ජනාධිපති ධූරයක් බවට පත් කර තිබීම සුවිශේෂය.

විධායක ජනාධිපති ධුරය සහිත නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දීම..!

1977 නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වාදීමෙන් අනතුරුව බිහි වූ මෙරට ප‍්‍රථම විධායක ජනාධිපතිවරයා ලෙස මහජන ඡන්දයෙන් තේරී පත් වූයේ ජේ.ආර්. ජයවර්ධන මහතාය. ඔහුට මහනුවර “පැවිලියන්” මන්දිරය හෙවත් වත්මන් මහනුවර ජනාධිපති නිල නිවාසය සම්බන්ධයෙන් පැවතියේ වෙනත් කිසිදු රාජ්‍ය නායකයෙකුට නොමැති සම්බන්ධතාවයකි.

මෙම ලිපියේ අරමුණ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා සහ පැවිලියන් මන්දිරය අතර පැවති සම්බන්ධතාවය පිළිබඳව අපගේ පාඨකයන් වෙත නවමු අත්දැකීමක් ලබාදීමය.

ශ්‍රී ලංකාවට සර්ව ජන ඡන්ද බලය හිමි වී වසර 50ක් ගතවීමේ සැමරුම් උත්සවය..!

දෙවන එළිසබෙත් මහ රැජින සහ පිලිප් කුමරු දෙවන වරට ශ්‍රී ලංකාවට පැමිණියේ 1981 ඔක්තෝබර් මස 21 වන දිනය. ඔවුන්ගේ ගමනේ නිමිත්ත වූයේ ශ්‍රී ලංකාවට සර්ව ජන ඡන්ද බලය හිමි වී වසර 50ක් ගතවීම නිමිත්තෙන් කොළඹ ගාලු මුවදොර පිටියේ සංවිධානය කර තිබූ යෝධ ජන හමුවට සහභාගිවීමය.

ගාලු මුවදොර පිටියේ දී සංවිධානය කොට තිබූ ජන හමුව ඇමතීම සඳහා ශ‍්‍රී ලංකා ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාට සහ දෙවන එළසබෙත් මහ රැජිනට ද අවස්ථාව උදා කර දී තිබුණි.

අනතුරුව මහනුවර නගරයට පැමිණි මහ රැජින සහ ආදිපාදවරයා 1981 – 10 – 23 දින කටුගස්තොට පාලම අසල දී පිළිගනු ලැබුවේ එවක මහනුවර නගරාධිපති තිලක් රත්නායක මහතා විසිනි.

මෙහිදී මහ රැජින වෙත ආමන්ත‍්‍රණ පත‍්‍රයක් සහ  මහනුවර නගරයේ රන් යතුරක් ප‍්‍රදානය කරන ලදී. අනතුරුව රාජකීය පිරිස “පැවිලියන්” මන්දිරයට පැමිණී අතර එහිදී ජනාධිපති ජේ.ආර්  ජයවර්ධන මහතා සහ එම ආර්යාව විසින් පවත් වන ලද රාජකීය භෝජන සංග‍්‍රහයකට රාජකීයයන් එම මන්දිරයේ දී සහභාගි විය.

මෙම භෝජන සංග‍්‍රහයට විශේෂ අමුත්තන් පනස් දෙනෙකු සහභාගි වී සිටි අතර එම අවස්ථාවට සංගීතය සපයන ලද්දේ ශ‍්‍රී ලංකා පොලිස් තූර්ය වාදක මණ්ඩලය විසිනි. භෝජන පිළියෙළ කෙරී ඇත්තේ මහනුවර “සුවිස්” හෝටලයේ අරක්කැමියන්ගේ අතිනි.

රජ පෙරහර..!

රාජකීය භෝජන සංග‍්‍රහයෙන් අනතුරුව ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ විශේෂ ඉල්ලීමක් මත සංවිධානය කොට තිබූ “රජ පෙරහර” නැරඹීම සඳහා මහ රැජිනට සහ පිලිප් කුමරුට අවස්ථාව උදා කර දී තිබුණි.

“රජ පෙරහර” නමින් හඳුන්වන්නේ ජනතාව විසින් රටේ රාජා ධූරය උසුලන්නාවූ අය වෙනුවෙන් සංවිධානය  කෙරෙන ගෞරවාචාර උත්සවයකි. මෙම විශිෂ්ට සන්දර්ශනය රාජකීය යුවලගේ ඉමහත් ප‍්‍රශංසාවට ලක් වී තිබේ.

රාජකීය යුවල වික්ටෝරියා ව්‍යාපෘතිය නිරීක්‍ෂණය කිරීම..!

1981 – 10 – 24 දින මහ රැජින සහ පිලිප් කුමරු වික්ටෝරියා ව්‍යාපෘති භූමිය කරා පැමිණියහ. එහිදී මහ රැජින එම අවස්ථාව සිහි ගැන්වෙන ලේඛන පුවරුවක් විවෘත කොට යළි ඉංජිනේරු කාර්යාලයක් ද විවෘත කරන ලදී. එම අවස්ථාවේදී ව්‍යාපෘතියේ වැඩ භාර ගෙන සිටියේ ශ‍්‍රී ලාංකිකයන් සමග එක්ව කටයුතු කළ බි‍්‍රතාන්‍ය ගොඩනැඟිලි ශිල්පීන් පිරිසක් විසිනි.

රාජකීය යුවලගේ පැමිණීම වික්ටෝරියා ව්‍යාපෘතියේ නියැලී සිටි බි‍්‍රතාන්‍ය ජාතිකයින්ට වගේම  ශ‍්‍රී ලංකිකයන්ට ද දිරි දීමක් වූ අතර එම අවස්ථාව බි‍්‍රතාන්‍ය සහ ශ‍්‍රී ලංකාව අතර පැවති සමීප සබඳතා සිහිපත් කරන්නක් ද විය.

වික්ටෝරියා බහුකාර්ය ව්‍යාපෘතිය ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ නිර්දේශ යටතේ 1977 වසරේ දී ආරම්භ වූ කඩිනම් මහවැලි සංවර්ධන සැලැස්මෙහි එක් කොටසක් විය.

තිස් වසරකින් නිම කිරීමට සැලසුම් කර තිබූ මහවැලි සංවර්ධන සැලැස්ම “කඩිනම් මහවැලිය” ලෙස වසර 6ක් වැනි කෙටි කාලයකදී නිම කිරීම සඳහා ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා සහ  එවක මහවැලි සංවර්ධන අමාත්‍ය ගාමිණි දිසානායක මහතා ඊට සම්බන්ධ නිලධාරීන් සමග සියලු සැලසුම් සකස් කොට ඇත්තේ මහනුවර පැවිලියන් මන්දිරයේ සිටය.

වික්ටෝරියා බහුකාර්ය ව්‍යාපෘතිය සුබ මොහොතින් ආරම්භ කිරීම සඳහා බි‍්‍රතාන්‍ය සංවර්ධන පිළිබඳ අමාත්‍ය නීල් මාර්කින් මහතා සමඟ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා 1980.03.23 වැනි දින සුබ මොහොතින් පිටත්ව ගොස් ඇත්තේ ද මහනුවර පැවිලියන් මන්දිරයේ සිටය.

මේ  සිද්ධීන්ගෙන් මනාව  පැහැදිළි වන්නේ ද  ජනාධිපති ජේ.අර්. ජයවර්ධන මහතා සහ  මහනුවර පැවිලියන් මන්දිරය අතර පැවති සමීප සම්බන්ධතාවයය.

උඩවත්ත කැලේ වනෝද්‍යානය ආරක්‍ෂා කිරීම..!

ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මහතා පරිසරය සහ වන සංරක්‍ෂණය පිළිබඳව දැඩි සැළකිල්ලක් දැක් වූ දේශපාලකයෙකු ලෙස ප‍්‍රකටය. මහනුවර පැවිලියන් මන්දිරයට ඉහළින් පිහිටි උඩවත්ත කැලේ වනෝද්‍යානය අනාරක්‍ෂිත බව පැවිලියන් මන්දිරයේ  නවාතැන් ගෙන සිටී ඔහුට දිනක් අසන්නට ලැබුණේ එහි සේවය කළ පහළම සේවකයෙකුගෙනි. ජනාධිපති ජේ.ආර්.ට අවශ්‍ය වූයේ කෙනෙකුගේ තරාතිරම නොව ඔහු සේවය කරන ආකාරයයි.

පැවිලියන් මන්දිරයේ සුළු සේවකයකු විසින් කරන ලද පැමිණිල්ල පිළිබඳව වහාම ක‍්‍රියාත්මක වූ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා 1982 – 01- 09 දින උඩවත්ත කැලේ වනෝද්‍යානය ආරක්‍ෂා කිරීම සඳහා අවශ්‍ය උපදෙස් බලධාරීන්ට ලබාදීම සඳහා පැවිලියන් මන්දිරයේ භෝජන ශාලාවේදී සාකච්ඡාවක් පැවැත්විය.

එහිදී ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා උඩවත්ත කැලේ වනෝද්‍යානය ආරක්‍ෂා කොට මනා ලෙස පවත්වා ගෙන යාම සඳහා ගත යුතු ක්‍රියා මාර්ග  පිළිබඳව වාර්තාවක් සකස් කරන ලෙස එවක මහනුවර දිස්ත‍්‍රික්කයේ දිසාපති ඒ.බී දමුණුපොළ මහතාට උපදෙස් ලබා දුන් අතර එම සාකච්ඡාවට මහනුවර කැලෑ නිලධාරිවරයා,ඉඩම් සංවර්ධන සහ මහවැලි අමාත්‍යංශ නිලධාරිවරයෙකු වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මහනුවර අධ්‍යක්‍ෂවරයා, පොලිස්පතිවරයාගේ වගේම යුද හමුදාපතිවරයාගේ නියෝජිතයන් දෙදෙනෙකු, මහනුවර නගරාධිපතිවරයා සහ ශ‍්‍රී දළඳා මාළිගාවේ දිය වඩන නිලමෙවරයා ද සහභාගි වී ඇත.

අදාළ කමිටු වාර්තාව 1982 -01-16 වන දින ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාට පිළිගැන්වූ අතර කමිටු නිර්දේශයන් පිළි ගත් ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා එම නිර්දේශ කඩිනමින් ක‍්‍රියාත්මක කිරීමට උපදෙස් ලබා දුන්නේය.

ශ‍්‍රී දළඳා මාළිගාවේ රාජා හස්තියා..!

ශ‍්‍රී දළඳා මාළිගාවේ හස්තියා වූ “රාජා” සිය කන්වල සහ පාදයන් හි රෝගී තත්ත්වයක් ඇති වීමෙන් බලවත් ලෙස දුර්වලව සිටින බව සැල වූ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා, 1982 අගෝස්තු මාසයේ දිනෙක “රාජා” හස්තියා පැවිලියන් මන්දිරයට ගෙන එන ලෙස දැනුම් දී තිබුණි.

“රාජා” හස්තියාගේ පාද පතුලේ තිබුණු ගැඹුරු තුවාලය පශු වෛද්‍ය ෂෙල්ටන් අතපත්තු මහතා විසින් අඟල් 12ක් දිග අඩුවක් යොදා ශුද්ධ පවිත‍්‍ර කිරීමේ දී හස්තියාගේ වේදනාකාරී විලාසය දුටු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා මහත් සංවේගයට පත් වී එම කාර්යය අතින් කළ නොහැකි දැයි පශු වෛද්‍යවරයාගෙන් විමසා ඇත.

එවිට  තුවාලය අඟල් 8ක් පමණ ගැඹුරු බවත් හස්තියා  ප‍්‍රතිකාරවලින් දැනට සුවය ලබමින් සිටින බවත් පශු වෛද්‍යවරයා දැනුම්දීමෙන් අනතුරුව “රාජා” හස්තියාගේ හිස මහත් ආදරයෙන් අත ගෑ ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ඌට විශාල හකුරු බෑයක් කෑමට දුන්නේය.

සිය තෘප්තිය හඟ වන සිහින් ගර්ජනයක් කළ “රාජා” හස්තියා තව තවත් හකුරු ඉල්ලමින් විශාල සුනඛයෙකු ලෙස ජනාධිපති ජේ.ආර් ජයවර්ධන පසු පස පැවිලියන් මන්දිරය භූමියේ හි ගමන් කළේ, බලා සිටි පිරිස් මවිත කරවමිනි.

පැවිලියන් මන්දිරයේ සේවකයකු මගින් පළතුරු ගෙන්වා ගත් ජනාධිපතිවරයා “රාජා” හස්තියාට කෑමට ලබා දුන් අවස්ථාවේ පළතුරු රසට ඉව වැටී ඇති “රාජා” හස්තියා පළතුරු බන්දේසි පිට බන්දේසි ලැබෙද්දී ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාට හැම වාරයකදීම කෘතඥ පූර්වකව හිස වනා සිහින් හඬින් ගර්ජනා කර ඇත.

උඩරට කලා සංගම් ශාලාව පිහිටුවීම..!

1982 වසරේදී පැවැත් වූ මහනුවර ඇසළ පෙරහරින් අනතුරුව මහනුවර ඇසළ පෙරහරේ උඩරට නැටුම්වල තත්ත්වය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා උඩරට නැටුම් කලාවේ තත්ත්වය පිළිබඳව වාර්තාවක් සපයන ලෙස එවක මහනුවර දිසාපතිවරයා ලෙස කටයුතු කළ ඒ.බී අමුණුපොළ මහතාගෙන් ඉල්ලීමක් කළේය.

උඩරට නැටුම් කලාවේ තත්ත්වය පිළිබඳව අදහස් සහ යෝජනා දැන ගැනීම සඳහා උඩරට නැටුම් ශිල්පීන් සහ උඩරට නැටුම් කලාව පිළිබඳව උනන්දුවක් දැක් වූ පිරිස් ද සහභාගි කර ගනිමින් රැස්වීම් කිහිපයක් පවත්වා එම රැස්වීම්වලදී පළ වූ අදහස් සහ යෝජනා සහිත වාර්තාවක් පිළියෙළ කොට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාට පැවිලියන් මන්දිරයේදීම පිළිගැන්වීම සුවිශේෂී සිදුවීමක් විය.

අදාළ වාර්තාව මගින් උඩරට කලා ශිල්ප සහ නැටුම් කලාව ප‍්‍රගුණ කිරීම සඳහා මහනුවර සංස්කෘතික මධ්‍යස්ථානයක් පිහිටු විය යුතු යැයි ද යෝජනා කර තිබුණි.

මෙම යෝජනා ක‍්‍රියාත්මක කිරීමේ තීරණ ගනු ලැබුවේ ද පැවිලියන් මන්දිරයේ දී වන අතර යෝජිත සංස්කෘතික මධ්‍යස්ථානය පසුව ප‍්‍රවීණ ගෘහ නිර්මාණ ශිල්පී විනට් ද සිල්වා මහතා විසින් සැලසුම් කෙරුණු සුවිශේෂ රඟ මඬලකින්ද යුක්ත විය.

අදාළ යෝජනාව ඉටු කරමින් 1984 දී උඩරට කලා සංගම් ශාලාව බිහි කර ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා විසින් උඩරට නැටුම් කලාවට සහ කලා ශිල්ප වර්ධනයට සුවිශේෂි කාර්යභාරයක් ඉටු කළේය.

ජේ.ආර්. ගේ පැණි රස කෑම..!

ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා පැණි රසට ඇඹලයෙකු සේ කෑදර විය. චොකලට්, පැණි වළලු, අයිස්ක‍්‍රීම් ආදියට ඔහු දැක්වූයේ මහත් ගිජු කමකි. වරක් ඔහු මහනුවර පැවිලියන් මන්දිරයේ දී අමුත්තන් පිරිසක් සමගින් ආහාර වේලක් සඳහා අසුන් ගත්තේය. ඔහුගේ රාත‍්‍රී ආහාරය සුප් කෝප්පයක් පමණක් විය.

ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා වෙනත් රාජ්‍ය නායකයන් සේ තනිව ආහාර ගැනීමට අකමැති වූ අතර පැවිලියන් මන්දිරයට පැමිණෙන පිරිස් සියල්ලන් සමගම ආහාර ගැනීම පුරුද්දක් කර ගෙන තිබුණි.

ජේ.ආර්. අයිස්ක‍්‍රීම්වලට විශේෂ රුචිකමක් දක්වන බව දන්නා පැවිලියන් මන්දිරයේ ආහාර කළමනාකරු එදින විශේෂ අයිස්ක‍්‍රීම් බඳුනක් පිළියෙළ කොට කෑම මේසයට එවා තිබුණි. අඟල් හයක් පමණ උසට පිරෙන්නට කොත ගසා තිබූ අයිස්ක‍්‍රීම් කන්ද මුදුනේ ඉඳුණු චෙරි ගෙඩි දෙක තුනක් ද ඔබ්බවා තිබුණි.

“මෙච්චර ගොඩක් මම කොහොම කන්න ද..? මෙතන ඉන්න කවුරුත් එක්ක මේක බෙදා ගෙන කන්න මම කැමතියි.” ජේ.ආර්. කෑම මේසයේ සිටි පිරිසගෙන් ඇසුවේ සිය දිගු නාසය පිරිමදිමිනි. ආහාර මේසයේ වාඩි වී සිටි පිරිස නිහඬව සිටිද්දී, “එහෙම නම් කාටවත් එපාදැයි” මුහුණ හකුලා ගනිමින් විමසා සිටී  හෙතෙම එම අයිස්ක්‍රීම් කන්දම ගිල දැමුවේය.

ජේ.ආර් ගේ කාමරයට පැන ගත් වඳුරා..!

ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා පැවිලියන් මන්දිරයේ ඔහුට වෙන් වී තිබූ කාමරයේ විවේක සුවයෙන් පසු වෙද්දී උඩවත්ත කැලේ වනෝද්‍යානය දෙස බලා සිටීම සිරිතක් කොට ගෙන තිබුණි.

උඩවත්ත කැලේ වනෝද්‍යානයේ පැවිලියන් මන්දිරය ආසන්නයේම පිහිටි ගසක සිටි වඳුරෙක් දිනක් එක් වරම කාමරයේ විවෘත කොට තිබූ ජනේලයකින් ජේ.ආර්. සිටි කාමරයට පැන්නේය.

අහම්බයකින් වූ මෙම සිදුවීම නිසා ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාට මහ හඬින් කෑ ගැසුණේය. ජේ.ආර්.ගේ කෑ ගැසීමෙන් බියට පත් වූ ඔහුගේ ආරක්‍ෂකයන් ජේ.ආර් ගේ කාමරය වෙත දිව ගියේ සැක සිතිනි.

වඳුරා ද බියට පත් වී කාමරයේ ඒ මේ අත දිව යද්දී, සිනාසෙමින් ඒ දෙස බලා සිටි ජේ.ආර්. ජයවර්ධන මහතාගෙන් ආරක්‍ෂකයන් ඇසුවේ උතුමානෙණි වඳුරාට වෙඩි තබන්න ද කියාය.

ජේ.ආර්. ආරක්‍ෂකයන්ට කීවේ “වඳුරෝ එහෙම තමයි… මම කාමරෙන් එළියට යන්නම් එතකොට වඳුරත් එළියට යයි..” කියාය. පුදුමයකට වගේ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා පැවිලියන් මන්දිරයේ සිය කාමරයෙන් එළියට යද්දී කාමරයේ ඒ මේ අත දිව යමින් සිටි වඳුරා ද ජනේලයකින් එළියට පැන ගත්තේය. “ආ..දැක්ක නේද වඳුරා එළියට ගිය හැටි..” සිය ආරක්‍ෂකයින්ට ජේ.ආර්. කීවේ සිය දිගු නැහැය පිරිමදිමිනි.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*