ජීවිතය විඳවන්නට නොව විඳීමට කාන්තාවන්ට ඉඩ දෙමු..!

Spread the love

සමාජය තුළ පවත්නා කුඩාම සමාජ සංස්ථාව ලෙස පවුල් සංස්ථාව දැක්විය හැකිය. මෙකී පවුල් සංස්ථාව හරහා නියෝජනය  වන කාන්තා නියෝජනය මුළු මහත් සමාජය පුරාම ව්‍යාප්තව පවතින අතර සමාජය පිළිගත්තද නොපිළිගත්තද සමාජයේ ප‍්‍රබලතම ගාමක බලවේගයක් ලෙසින් කාන්තා කි‍්‍රයාකාරීත්වය හඳුන්වා දීම යුක්ති සහගතය.

මන්දයත් හිරුටත් පෙර පිබිද සියලූ වැඩ කටයුතු අහවර කොට පවුලේ සාමාජිකයන්ගේ ගමන්මඟට ඇවැසි ශක්තිය ලබා දෙමින් සියල්ලන්ටම පසුව නිදාගත් එකම තැනැත්තිය කාන්තාවයි. වර්තමානයේ  කාන්තාව නම් වචනය සමග බද්ධව ඇසෙන අනෙක් වචන කිහිපය ලෙස‘‘කාන්තා හිංසනය, ගෘහස්ත ප‍්‍රචන්ඩත්වය’’ යන වචන කිහිපය පෙන්වා දිය හැකිය. වර්තමාන සමාජය තුළ කාන්තාව නොයෙකුත් ආකාරයේ හිංසන අවස්ථාවන්ට සහ පීඩනයන්ට මෙන්ම තමා ජීවත් වනු ලබන කුටුම්බය තුළද විවිධ ප‍්‍රචණ්ඩකාරී තත්ත්වයන්ට මුහුණ දෙනු ලබයි.

මෙවන් තත්ත්වයක් තුළ සමාජයේ  විවිධ පාර්ශව මේ පිළිබඳව විවිධ අදහස් උදහස් ඉදිරිපත් කරමින් සමාජය තුළ කතිකාවක් නිර්මාණය කරනු ලබමින් පවතී. මෙවන් තත්ත්වයක් තුළ සමාජය හමුවේ කාන්තාව මුහුණ දෙනු ලබන හිංසනමය අවස්ථාවන් සහ තමා ජීවත් වන ගෘහය තුළ මුහුණ දෙනු ලබන ප‍්‍රචන්ඩකාරී අවස්ථාවන් පිළිබඳවත් එම සෑම අවස්ථාවකම පවත්නා සියුම් තත්ත්වය පිළිබඳවත් ගවේෂණාත්මකව සොයා බැලීම සමාජය තුළ පවත්නා කාලීන අවශ්‍යතාවයක් බව මනාව පැහැදිලි වේ. සමාජය තුළ නිර්මාණය වන පවුලට පදනම් සාධකය වන්නේ විවාහයයි.

විවාහක යුවලක් දරුවන් හදාවඩා ගනිමින් සමාජය සමග අන්තර් සබඳතා පවත්නා පවුල් ඒකකය සමාජය තුළ පිළිගැනීමට ලක් වේ. විවාහ සංස්ථාවේ කාන්තාව සැමියාට බිරිඳක් වන අතර දරුවන්ට මවක්ද වන අතර පවුලේ මූලික පදනම් සාධකය ඇයයි. නමුදු මෙකී කාන්තාව තමා විසින් නිර්මාණය කරනු ලැබූ පවුල් ඒකකය තුළින්ම විවිධ මට්ටමේ හිංසා පීඩාවන්ට සහ ප‍්‍රචණ්ඩත්වයට ගොඳුරුව පසුව සමාජය තුළින්හමුවේද එවන් අගතිගාමීත්වයන්ට පත්වනු දැකගත හැකිය.

පවුල තුළින් සිදු වනු ලබන කාන්තා හිංසනය හා ගෘහස්ත ප ‍්‍රචණ්ඩත්වය පිළිබඳ විමසීමේදී අවස්ථා රාශියක් යටතේ  ඇය මෙකී ඛේදවාචකයට ගොදුරු වන බව පැහැදිල ිය. බීමත් සැමියා විසින් විවිධ අඩත්තේට්ටම් වලට ලක් කිරීම, සැමියා විසින්ලිංගිකමය වශයෙන් පීඩාවන්ට ගොදුරු කිරීම, කුඩා දරුවන් රුක බලා ගැනීමේදී මුහුණ දෙන පීඩාකාරී අවස්ථාවන්, දරුවන් ලොකුමහත් වූ පසු ඔවුන්ගේ අවශ්‍යතා පූර්ණය කිරීමේදී ඇති වන පීඩාකාරි තත්ත්වයන්ට මුහුණ දීම, නැන්දම්මා ලේලි ගැටලූ, නිර්දාර්කභාවය පිළිබඳ ගැටලූ අනියම් සබඳතාවන් පැවැත්විම තුළ ඇති වන ප‍්‍රචන්ඩත්වය, විවාහයට පෙර ලැබුණ ආදරය සහ ගෞරවය විවාහයෙන් පසු නොලැබීම තුළ ඇති වන ඉචිඡුභංගත්වය, ආර්ථිකමය වශයෙන් ඇතිවන ගැටලූකාරි තත්ත්වයන් හමුවේ මුහුණ දෙන අභියෝග  තීරණ ක්‍රියාත්මක  කිරීමේදී කාන්තාවගේ දායකත්වය මත ඇතිවන ගැටලූකාරි තත්ත්වය ආදිය මගින් සමාජය තුළ කාන්තාව හිංසනයටත්ගෘහස්ත ප‍්‍රචණ්ඩත්වටත් නිරන්තරයෙන් ලක්වනබව පැහැදිලි වේ.

මේ තුළ ඇති සුවිශේෂ  බව වන්නේ පවුල තුළින් ඇය කෙරෙහි ඇතිවනු ලබන හිංසනය සහ ප‍්‍රචණ්ඩත්වය පසුව සාමාජය තුළටද විසරණය වීමයි. ඉහත දක්වනු ලබන අවස්ථා යටතේ  විශේෂයෙන් පවුලේ  බිරිඳ හිංසනයට සහ ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට පත්වන අතර එකී අවස්ථාවන් සියුම්ව පරික්‍ෂා කර බැලීමේදී සමාජයේ  නෙත නොගැටුන තත්ත්වයන්යටතේද කාන්තාව හිංසනයටත් ප‍්‍රචණ්ඩත්වයටත් ගොදුරු වන බව පැහැදිලි වේ.

බීමත් සැමියා විසින් විවිධ අඩත්තේට්ටම් වලට ලක්කිරීම තුළ විදින දැඩි කායික හා මානසික පීඩාවවර්තමාන සමාජයගත පවුල තුළ ඇති ප‍්‍රබල ඛේවාචකයෙකි. ප්‍රේම  සබඳතාවක් මත හෝ යෝජිත විවාහයක් මත ඇති වූ විවාහය තුළ බිරිඳ කිසි දිනෙක සැමියාගෙන් බීමත් හැසීරීම් රටාවක් බලාපොරොත්තු නොවේ.

විවාහයට පෙර තම ප්‍රේමවන්තයා හෝ   තම යෝජිත සහකරු ගෙන යනු ලබන සංවරශීලි ප‍්‍රතිරූපය එකවරම විවාහයෙන් පසුව බේබද්දකු හා දාමරිකයකු බවට පරිවර්තනය වීම තුළ ඇයගේ මුළු චිත්ත සන්තානයම එකවර බිඳ වැටේ. කුමන හෝ කරුණක් සාධාරණීකරණය කිරීම සඳහා මුල් කාලීනව ඉතා සුළු වශයෙනුත් පසුකාලීනව විශාල වශයෙන් මත්පැන් පානයට සහ දුම්වැටි භාවිතයට හුරු වීම තුළ විවාහ සංස්ථාවේ සොඳුරු බව මිහිපිට අපායක් බවට පත් වීම නොවැළක්විය හැකි තත්ත්වයක්බවට පත්වේ.

කිසිම කාන්තාවක් මත් පැන් හා දුම්වැටි භාවිතය තුළ ඇතිවන අප‍්‍රසන්නදුර්ගන්දයට අකමැති වේ. එවන් තත්ත්වයක් තුළ බිරිඳට තම සැමියා සමග කායිකවත්,මානසිකවත් සබඳතා පැවැත්වීම කැමැත්තෙන් කළ හැකි දෙයක් නොවේ. බිරිඳ මේ පිළිබඳව විරුද්ධත්වය ප‍්‍රකාශ කරන බොහෝ අවස්ථාවල සිදු වන්නේ තම සැමියාගේ දැඩි පහර කෑමට ලක්වීමයි. ඇතැම් අවස්තාවලද සැමියාගේ  බලවත්  පෙරැත්ත මත මත්ද්‍රව්‍ය භාවිතයට හුරුවූ කාන්තාවන් පිළිබඳවද සමාජයෙන් අසන්නට ලැබේ. බීමත් සැමියා නිරන්තරයෙන් බිරිඳ සමග අ`ඩදබර කරනු ලබන්නේ තමාගේ ප‍්‍රබල ඒකාධිපති අවශ්‍යතාවයන් මත පිහිටාය.

වරෙක එය ආහාරමය අවශ්‍යතාවයක් විය හැකිය. වරෙක එය ලිංගිකමය අවශ්‍යතාවයක් විය හැකිය. මෙවන් තත්ත්වයක් තුළ විවාහ සංස්ථාවේ බිරිඳ කායිකවත් මානසිකවත් දූෂණය වීම සිදුවේ. බිමත් සැමියා බොහෝ විට බිරිඳට පහර දෙනු ලබන්නේ තම දරුවන් ඉදිරිපිටදීය. මෙය දකින ගැහැනු දරුවාගේ මනස තුළ පියා පිළිබඳ ඝෘණාත්මක වෛර සහගත සිතුවිල්ලක් මනසේ ඇතිවේ. පසුකාලීනව එම දියණියන්ට විවාහය පිළිබඳව ඇති වන්නේද සෘණාත්මක ආකල්පයකි. එම දරුවන් නිසි වයසේදී විවාහ කරදිම මව සහ පියා සතු  ‍ප්‍රබල වගකීමකි.

මව මේ පිළිබඳව දියණියගෙන් විමසූ විටදී දියණියන්ගේ පිළිතුර වනුයේ ‘‘තාත්තා වගේ කෙනෙක් මට ලැබුණොත් අම්මා මොකද කරන්නේ’’ ආදි ලෙසය. මෙවන් තත්ත්වයක් තුළ මව දරුවන් ඉදිරියේ  නිරුත්තර වේ. සැමියාගේ දැඩි බීමත්කම හේතුවෙන් පවුලේ ආර්ථික ශක්තිය දැඩි පිරිහීමකට ලක් වේ. බීමත්කම තුළින් බිරිඳට ලැබෙන පීඩනය දරාගත නොහැකි වීම තුළ දික්කසාද වීම, අනියම් සබඳතා පැවැත්වීමට යෑම, ආර්ථික ශක්තිමත් කරගැනීමට මුදල් ඉපයීමේ පහසුමාර්ගයන් තෝරා ගැනීමට යැමේදී ගණිකා වෘත්තිය වැනි අගතිගාමි වෘත්තීන්ට පවා යොමු වීමට ඇයට සිදුවේ.

පවුලේ සමගිය බිඳුන විටදි හා දික්කසාදයට ලක්වූ ගැහැනියක් ලෙස සමාජයේ ගොදුරු ඇස ඇය වෙත යොමු වේ. අවසානයේදී සමාජ අපහාසයට හා ගර්හාවට ලක්වන්නේද කාන්තාවමය. හිංසනයට හා ගෘහස්ත ප ‍්‍රචන්ඩත්වයට පත්වනු ලබන ප‍්‍රබලතම අවස්ථාවක් ලෙස සැලකිය හැක්කේ සැමියා විසින් ඇති කරනු ලබන ලිංගික හිංසා පීඩාසහ විකෘතිකාමාශා තෘප්ත කර ගැනීමට දරන ප‍්‍රයත්නයි.

විවාහ සංස්ථාව ගොඩගැනීමේ මූලික අරමුණ ලෙස ස්තී‍්‍රයකට හා පුරුෂයෙකුට නිත්‍යානූකූලව ලිංගිකව එකතු වීමේ නිදහස හා ලැබෙන දරුවන්ට සුජාතකරනයක් ලබා දීම යන්න පෙන්වා දිය හැකිය. නමුදු ඇතැම් සැමියන් තම බිරිඳ ලිංගික කෙලි බඩුවක් ලෙසින් සිතා පරිහරණය කිරීමට යෑම තුළ බිරිඳ කායිකවත් මානසිකවත් ප‍්‍රචන්ඩත්වයටත් හිංසනයටත් ලක්වේ.

විවාහය තුළ ලිංගික සබඳතාවක් අර්ථාන්විත වන්නේ දෙදෙනාගේම කැමැත්තෙන් සිදුවන කායික හා මානසික කි‍්‍රයාවලියක් ලෙසිනි. විවාහයට පෙර පේ‍්‍රම සබඳතාවයක් පවත්වන පෙම්වතකු සහ පෙම්වතියක යෝජිත විවාහක යුවලකට වඩා එකිනෙකා පිළිබඳ අවබෝධයෙන් කටයුතු කිරීම බහුලය.

යෝජිත විවාහයකදී සහකරුවා හා සහකාරිය විවාහයට පෙර හමුවන්නේ අවස්ථා කිහිපයකදී පමණි. පසුව විවාහයේ මධුසමය තුළදී කාන්තාව ඇතැම් විට නිදියහන තුළදී ලිංගිකමය වශයෙන් හිංසා පීඩා තත්ත්වයන්ට හා විවිධ විකෘති කාමාශා තත්ත්වයන්ට සැමියා හරහා ගොඳුරු වීමේ අවස්ථා පවතී. ජීවිතයේ දෙවන උපත සැමියා සමග එක්ව ගත කොට ඉදිරි අභිවෘද්ධියට එළඹෙන සුළු මොහොතකදීම තම දයාබර සැමියා විකෘති කාමාශා සහිත පුද්ගලයකු බව පසක් වීම තුළ ඇයගේ අසරණභාවයි ප්‍රමාණය කළ නොහැක.

මධුසමය තුළදිම ඇය දික්කසාදයට ලක් වුවහොත් එහි සැබෑ තත්ත්වය නොදත් ඥාතීහිතමිත‍්‍රාදීන් සහිත සමාජය චෝදනාකරනු ලබන්නේ සැමියාගේ පාර්ශවයට නොව බිරිඳටය. තවද විවාහයෙන් පසුකාලිනව සැමියා නිල් චිත‍්‍රපට අසභ්‍ය වීඩියෝ දර්ශන හරහා විකෘති මනසක් ඇතිකොටගෙන එවන් කි‍්‍රයාකරකම් තම බිරිඳ සමග අනුකරණයට යෑම තුළ බිරිඳ දැඩි කායික සහ මානසික පීඩාවට පත්වේ. එයට අකමැත්ත ප‍්‍රකාශ කළ සැම විට සපාකෑම, පරහදීම, පිළිස්සීම ආදිය සැමියා විසින් සිදු කරනු ලබයි.

තවද ඇතැම් විකෘති කාමාශාවන් සහිත සැමියන් තම බිරිඳ නිදියහන තුළදීම තම මිතුරන්ට විකිණු අවස්ථා සමාජය තුළින් වාර්තා වීම කෙතරම් ඛේදනීයද? මත්ද්‍රව්‍ය භාවිතයට හුරු වීමද විකෘති කාමාශාව ඇති කිරීමටත් ලිංගික බෙලහීනතාවය ඇති කරලීමත් දෙයාකාරයෙන් ම බලපායි. මේ දෙයාකාරයම කාන්තාවට ඇති කරනු ලබන්නේ හිංසාකාරි පීඩාකාරි හැඟීමක් පමණි.

තම සැමියා විසින් වැඩි වේලාවක් ලිංගික කි‍්‍රයාවලියේ නිතර වීමට විවිධ පෙති වර්ග වලට යොමු වීම තුළ බිරිඳකායිකවත් මානසිකවත් දැඩි පීඩාවට ලක්වේ. විවාහ දිවියට එළබි බිරිඳ විසින් දරුවන් බිහිකරනු ලබයි. දරුවකු කුස පිළිසිඳගත් දා සිට පි‍්‍රතියක් මෙන්ම දැඩි පීඩාකාරි තත්ත්වයන්ටදමව ගොඳුරු වේ. දරු ප‍්‍රසූතියේ පළමු අත්දැකීම ලබන මවක් එම අවස්ථාවට මුහුණ දෙනු ලබන්නේ දැඩි බියකින් සහ වේදනාවකිනි.

දරුවා බිහිකළ පසු මවට විශාල වගකීමක් පැවරේ. ඇතැම් විට ඇයට තම රැකියාවෙන් පවාඉවත් වීමට සිදුවේ. දරුවා හදා වඩා ගැනීමේ දී සැමියාගෙන් සහයෝගය නොලැබෙන වාර අනන්ත අප‍්‍රමාණය. නමුදු බිරිඳ තම දරුවාගේ කටයුතු සහ පවුලේ කටයුතු තනිවම සිදු කිරීමට සිදුවේ. මේ තුළ ඇතිවන ආතතිය හරහා ඇයගේ බාහිර රූපය පවා විකෘති තත්ත්වයට පත්වේ.

සැමියාට මෙම වෙනස් වීම දරාගත නොහැකි වුවහොත් ඔහු අනියම් බිරිඳක් වෙත යෑම තුළ බිරිඳ තවත් අපහසු තත්ත්වයට පත්වේ. දරුවන් සිටින නිසා ස්වාධීන සෘජු තීරණ ගැනීමට ද ඇයට නොහැකි වේ. එවන් තත්ත්වයක් තුළ බිරිඳ දරුවන් වෙනුවෙන් ජීවත්වන මවක් ලෙසින් ඉදිරි ගමනට මුහුණ දරුවන්  ලොකු මහත් වූ පසු ඔවුන්ගේ අධ්‍යාපනික සහ විවාහ අවශ්‍යතාවයන් පූර්ණයකිරීමේ දී බිරිඳ විශාල අරගලයක යෙදී සිටී.

ගැහැනු දරුවකු හිතුවක්කාර විවාහයකට යොමුවීම තුළ සැමියා ඇතුළු සමස්ත සමාජයේම චෝදනාව එල්ල වන්නේ බිරිඳ වෙතයි. මවක් ලෙසින් ඇය නිවැරදිව දියණියන් හැදුවේ නැහැ යන චෝදනාව ඇයට එල්ල වේ. ඇතැම් විටදියණිය මෙවන් තත්ත්වයකට යොමු වූයේ  පියාගේ  බීමත්කම හෝ පවුලේ  දරිද්‍රතාවය තුළින් ඇතිවනු ලබන පීඩනයනිසා වියහැකිය.

අවසානයේ දී වැරදිකරුවා වන්නේ මවයි. කාන්තාවට පමණක් චෝදනාව දිගු කොට සමාජය නිහඬ වීම තුළ කාන්තා හිංසනයට හා ගෘහස්ත ප‍්‍රචන්ඩත්වය සමාජයේ දරුණු පිළිලයක් බවට පත් වෙමින් පවතී.

වත්මන් සමාජයේ විවාහක බිරිඳකට ඇතිප‍්‍රබලතම අභියෝගයක් ලෙස විවාහයෙන් පසු මවක් වීම යන්න බලපායි. වර්තමාන සංකීර්ණ සමාජයේ  ආහාර වල සංයුතිය වෙනස් වීම ආදි විවිධ කරුණු කාරණා හේතුවෙන් බොහෝ විවාහක කාන්තාවන් නිර්දාරකාබාවයට පත්වීම දැක්විය හැකිය. විවාහයෙන් පසුව සැමියාගේ මවගේ සහ පියාගේ පාර්ශවයෙන් ආදරය සහ රැකවරණය ස්ථිර ලෙසම ලබා ගැනීම සඳහා විවාහක බිරිඳකට විවාහක සැමියාට ජාතකව දරුවන් බිහිකළ යුතුය. එය අපොහොසත් වූ විට ඇය ‘‘වඳ ගැහැනියක්’’ යන සංකල්පය හරහා පවුලේ සාමාජිකයන්ගෙන් පළමුවත් සමාජයෙන් දෙවනුවත් ඇය හංවඩු ගසනු ලබයි.

මෙම තත්ත්වයේ වැරැද්ද ඇය පිට පටවා සිටීමටසමාජය දරන ප‍්‍රයත්නය කෙතරම් ශෝචනීය ද? නිදසුනක් ලෙස ඇතැම් ප්‍රේම සබඳතා අතරතුර පූර්ව වෛවාහක ලිංගික සබඳතාවල යෙදීම නිසා නොදනුවත්කම නිසා ගැබ්ගැනීමට ලක්වූ ආදරණීය පෙම්වතිය ඉන් මුදවාලීම සඳහා පෙම්වතා විසින්නොයෙක් වර්ගයේ  පෙති ඇයට ගිල්වීමට පෙලඹීම සහ කිසිසේත්මනීත්‍යානුකූල නොවන ගබ්සා කඩවෙත ඇයවගෙන ගොස් ගබ්සා කිරීම හරහා පසුකාලීනව ඇයට දරුවන් අහිමි වීමේ තත්ත්වන් ඇති විය හැක.

නමුත් සැමියා සහ මුළුමහත් සමාජයම මෙකී තත්ත්වයේ වැරැද්ද ඇය මත පමණක් පටවා නිහඩ වී සිටි. ඇතැම් අවස්ථාවලද පෙම්වතා විසින් තම පෙම්වතිය ගබ්සාව සඳහා යොමු කරනු ලබන කඩවල සිටින වෛද්‍යවරුන් යැයි කියාගන්නා තිරිසනුන් සමගද ඇයට යහන්ගත වීමට සිදු වූ වාර ගණන අනන්තයි. මේ සියල්ල ඇය තනිව දරාගැනීමට යෑම තුළ ඇය කෙතරම් මානසිකව සහ පීඩනයකට ලක්වෙන්නේ මෙපමණ යැයි කියා ගණනය කළ නොහැක.

මෙලෙස නිර්දාරකභාවය හරහා දැඩි පීඩනයකට සහහිංසනයට ඇය දිනෙන් දින ගොදුරු වීම තුළඇතැම් විට දික්කසාදයකින් එහි ගමන කෙලවරවිය හැකිය. තවද නැන්දම්මා හා ලේලිය අතරපවතින සම්ප ‍්‍රදායික ගැටුම වර්තමානයේ නවීන සංකිර්ණයයි. පවසන සමාජය තුළදදක්නට ලැබීම පුදුම සහගතය.

සැමියාගමව විවාහයෙන්  පසුවද තම පුතණුවන ඒ අයුරින්ම රැකබලා ගැනීමට යැම තුළබිරිඳගෙන් ඔහුට ලබාදෙන ආදරය ගෞරවයඉවසා ගත නොහැකිව තම ලේලිය කෙරෙහිවැරදි වැටහීමක් ඇති කර ගන්නා අතර ඉන්නැන්දම්මා ලේලිය හබය ඇතැම් අවස්ථාවල දී විවාහය දෙදරා යන තත්ත්වයට පත්වේ.

තවද ලාංකික ජන සමාජයේ  විවාහ සංස්ථාව තුළ පිතෘ මූලික ගමන් මඟක් පෙන්වනුලබයි. පවුල් සංස්ථාවේ බොහෝ විට තීරණගනු ලබනේ ස්වාමි පුරුෂයගේ පාර්ශවයයි. එය සමාජීය වශයෙන්ද සංස්කෘතික වශයෙන්ද එම තත්ත්වය පුරුෂ පාර්ශවයට ලබාදී ඇත. නමුදු එය සිදු විය යුත්තේ ස්වාමි පුරුෂයා විසින් සිය බිරිඳ සමග කතිකා කොට දෙදෙනාගෙ ම අදහස් ක්‍රියාත්මක  වන ආකාරයට ජීවන ගමනේ තීන්දු තීරණ ගැනීමයි.

නමුදු බොහෝ විට සිදු වන්නේ ඊට හාත්පසින් ම වෙනස් වූ කරුණකි. ඇතැම් පවුල් සංස්ථාවල විවාහයේ සිටම ස්වාමිපුරුෂයාගේ ඒකමතික  තීරණයමත සියල්ල සිදුවන අවස්ථා දැකිය හැකිය. බිරිඳ රැකියාව කළයුත්තේ හො නොකළ යුත්තේ සැමියාගේ අභිමතය පරිදිය. එපමණක් නොව සියලූ කායික සහ මානසික සබඳතා පැවැත්වීම ස්වාමියාගේ අණසකට යටත්වකළ යුතුය. දරුවන් හදාවඩා ගත යුත්තේද ඔහුට අවැසි පරිදිය.

මෙවැනි තත්ත්වයන් තුළ බිරිඳ යාන්ත්‍රීරිකරණයට  ලක්ව ඉමහත් චිත්ත පීඩාවෙන් යුතුව කල්ගත කිරීමට සිදුවේ. ලාංකේය ජන සමාජය තුළ අද වන විට පවා පවුල තුළ ගැහැනු දරුවකු ඉපදුන විට පළමුව පියා සහ මව යටතේද පසුව විවාහපත් සැමියායටතේද යම්හෙයකින් සැමියා මිය ගියහොත් වැඩිමහල් වූ පිරිමි දරුවන් යටතේ ද ජීවත්වීමට සිදුවන අවස්ථා සමාජයේ සුලබය.

මේ තත්ත්වය තුළ ඇයගේ සිතුම් පැතුම් හැඟීම්නියමාකාරයෙන් කි‍්‍රයාත්මක නොවේ.සමාජය තුළ කාන්තාව සම්බන්ධයෙන් පවත්නා දැක්ම වන්නේ ලද බොළඳ මටසිලිටු අදහස් උදහස් ඇති සුන්දර ලෙසිනි. නමුද එම මටසිලිටු සුන්දරත්වය තුළින්ම ඇය සතු ශක්තියද කිසිවෙකුටත් දෙවැනි නොවේ.ඇයටද ජීවයක් ඇත. ඇය සැමියාගෙන් මෙන්ම සමජයේ සියලු පාර්ශවයන් වෙතින් ආදරය රැකවරණය නිරන්තරයෙන් බලාපොරොත්තුවේ.

විවාහයට පෙර පෙම්වතුන් ලෙස හෝයෝජිත විවාහයක නම් දැන හැදින ගත් අවස්ථාවේ සිට හමුවන බොහෝ අවස්ථාවලදී තම පෙම්වතා හෝ යෝජිත සහකරුවා විසින් නොයෙකුත් ත්‍යාග ලබා දීම තම පෙම්වතිය බොහෝ සෙයින් අගය කිරීම, ඇයගේ රූප සුන්දරයත්වය පිළිබඳව වර්ණනා කිරීම ආදිය නිරන්තරයෙන් සිදු කරනු ලබයි.

පසුව එකී කාන්තාව සියල්ල විශ්වාස කොට තමාගේ ආදරණීය දෙමාපියන්ගෙන්  සහ සහෝදර  සහෝදරියන්ගෙන්  වෙන්ව ජිවිතයේ  දෙවනිගමන ලෙසින් විවාහ සංස්ථාවට ඇතුළත්වේ. ඉන්පසු ටික කලක් ගත වන විට සැමියා විවාහයට පෙර තමාට දැක්වූ ගෞරවය, ආදරය, රැකවරණය ක‍්‍රමානුකූලව අඩුවන අවස්ථා දැකිය හැකිය.

තමාගේ උපන්දිනය සැමියාව අමතක වීම බිරින්දෑවරුන් මුහුණ දෙන පොදු ඛේදනීය තත්ත්වයකි. විහාහ වීමට පෙර තමා හමු වූ මුල් අවස්ථාව, දිනය අමතක වීම ආදිය ඇයට මහත් පීඩනයක් ගෙන දීම තම විවාහක දිනය අමතක වීම නමුත් බිරිඳ මෙම දිනය එලඹෙන තුරු සිටින්නේ ඇඟිලි ගනිමිනි. එහෙත් සැමියාට එම දිනය අමතක වීම ඇයට දැඩි කනස්සලට හේතුවකි.

කාන්තා හිංසනය හා ගෘහස්ත ප‍්‍රචන්ඩත්වය පිළිබඳ විමසීමේදී එයට බලපානු ලබන හේතු කාරණා පුරුක් දාමයක් මෙන් එකිනෙකාට සම්බන්ධව පවතින බව පැහැදිලිය. කාන්තාවගේ ශ‍්‍රමදායක්වය ජාතික සංවර්ධනයට යොදා ගැනීමේදී නිවැරදිව ගණනය කිරීමට නොහැකිවන්නේ උදෑසන අවධි වූ මොහොතේ සිටම රාති ‍්‍ර නින්දට යන තුරාම ඇයගේ  දායකත්වය නොමසුරුවම ලැබෙන හෙයිනි.

කාන්තාව නිවසේ  වැඩකටයුතු සමබරව පවත්වා නොගනිමින් සැමියා, දරුවන්, ඥාතීහිතමිත‍්‍රාදින් පිළිබඳව නොසිතා තමන් පිළිබඳ ආත්මාර්තකාමීව සිතුවේ නම් සාමාජය එකතැනමය. කාන්තාවට සමාජයෙන්  ලැබිය යුත්තේ සම තැන නොව නිසි තැනය. වර්තමාන සමාජය තුළ වුවද කාන්තාවට නිසිතැන නිසි ගෞරවය නිසි රැකවරණය ලබා දෙමින් ඇයව අගය කරන විශාල පිරිසක් සිටම හදවතනිම සතුටු විය හැකි කරුණකි.

කාන්ත හිංසනය හා ගෘහස්ත  ප්‍රචණ්ඩත්වය  පිළිබඳ අවධානය කොට එහි සියුම් තැන් පරීක්‍ෂා කොට බලා කාන්තාවගේ විවාහ ජීවිතය විදින ජීවිතයක් බවට පත්කරලීමේ උදාරතර වගකීම හා යුතුකම සමස්ත සමාජයේම කරමත පැටවී ඇති බව අවධාරණය කළ යුතුය.

(සමාජ පර්යේෂක හා දේශක-එම්.පී. රුවන් පුෂ්ප කුමාර)

එම්.පී. රුවන් පුෂ්ප කුමාර

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*