ජනතාවට සවියයි-දුප්පතුන්ට රැකවරණයයි දුන් අය වැය..!

Spread the love

රාජ්‍ය සහ ආරක්ෂක අංශ වැටුප් ඉහළට..!

ගාස්තු ගණනාවක් වැඩි කෙරේ..!

මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් 2019 වසර සඳහා අඟහරුවාදා (මාර්තු 05) ඉදිරිපත් කළ අයවැය යෝජනාවලියේ තේමාව වී තිබුණේ, ‘ජනතාවට සවිය – දුප්පතුන්ට රැකවරණය’ යන්නය.

රාජ්‍ය සේවක වැටුප්

2016 වසරේ සිට 2020 දක්වා රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුපට රු. 10000ක් එකතු කිරීමේ වැඩපිළිවෙළ යටතේ මේ වසරේදී ද රු. 2500ක් මූලික වැටුපට එකතු වේ.

එම වැටුප් වර්ධක සඳහා වෙන් කෙරෙන මුදල රුපියල් බිලියන 40කි.

මුදල් අමාත්‍ය මංගල සමරවීර පැවසුවේ, මෙම වැඩපිළිවෙළ යටතේ මේ වන විට රාජ්‍ය සේවකයින්ගේ වැටුප් 107%කින් ඉහළ දමා ඇති බවය.

කාර්යාල සහයක වැටුප:

වසරඅවම වැටුප
2015රු. 11730.00
2019රු. 21740.00

ගුරුවරයෙකුගේ වැටුප:

වසරඅවම වැටුප
2015රු. 16000.00
2019රු. 29000.00

අමාත්‍යාංශ ලේකම් වැටුප:

වසරඅවම වැටුප
2015රු. 40000.00
2019රු. 88000.00

මීට අමතරව, විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීමට රු. මිලියන 12ක අතිරේක ප්‍රතිපාදන වෙන් කිරීමට යෝජනා කෙරේ.

අමාත්‍ය මංගල සමරවීර සඳහන් කළේ, පොලිසිය සහ ත්‍රිවිධ හමුදා සඳහා ගෙවනු ලබන දීමනා වසර 20කට පසු ඉහළ දැමූ බවය.

  • කමාන්ඩෝ දීමනා: රු. 1000 සිට රු. 5000 දක්වා වැඩි කෙරේ.

  • ගෙවල් කුලී දීමනා: 100%කින් වැඩි කෙරේ.
  • නිල ඇඳුම් දීමනා: රු. 255 සිට රු. 600 දක්වා වැඩි කෙරේ.
  • රණවිරු දීමනා: රු. 170 සිට රු. 350 දක්වා වැඩි කෙරේ.

බදු ආදායම්

දුම්වැටි සඳහා ද ජාතිය ගොඩ නැගීමේ බද්ද පැනවීමට යෝජනා කෙරේ. ඒ අනුව, 12%ක බදු වැඩි වීමක් සිදු වන අතර දුම්වැටියක මිල රුපියල් 5කින් පමණ ඉහළ යනු ඇත.

ගුවන් ගමන් බලපත්‍ර: එක්දින සේවය රු. 5000කින් ඉහළ දමන අතර සාමාන්‍ය සේවය රු. 3000 සිට 3500 දක්වා වැඩි කෙරේ.

අධිවේගී මාර්ගවල කාර්යබහුල වේලාවලදී අය කෙරෙන ගාස්තුව රු. 100කින් ඉහළ දැමේ.

සුරා බදු සහ මෝටර් රථ නිෂ්පාදන බදු සංශෝධනය කෙරේ. වාහන ආනයනය කිරීමේදී අය කෙරෙන 200%ක මුදල් තැන්පතුව ඉවත් කෙරේ.

කැසිනෝ බද්ද අප්‍රේල් 01 වන දා සිට රු. මිලියන 200 සිට 400 දක්වා ඉහළ දැමේ. කැසිනෝ සඳහා ඇතුළු වීමේ ගාස්තුව ඇමෙරිකානු ඩොලර් 50ක් දක්වා වැඩි කෙරේ.

මංගල සමරවීර අයවැය

අධ්‍යාපනයට යෝජනා රැසක්

සෑම වසරක ම අපොස උසස් පෙළ විභාගයෙන් ශ්‍රී ලංකාවේ හොඳ ම ප්‍රතිඵල ලබා ගන්නා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලෝකයේ හොඳ ම විශ්ව විද්‍යාලවල ඉගෙනුම ලැබීම සඳහා ප්‍රතිපාදන සැපයීමට විශේෂ අරමුදලක්.

2019 අගෝස්තු මාසයේදී හොඳම ප්‍රතිඵල ලබා ගන්නා සිසුන් 14 දෙනකුගෙන් මේ වැඩසටහන ආරම්භ වේ. විෂය ධාරා පහේ වැඩි ම ලකුණු ලබා ගන්නා ශිෂ්‍ය ශිෂ්‍යාවන් 5 දෙනා සහ දිස්ත්‍රික්කවලින් පළමු ස්ථානය හිමි කර ගන්නා ශිෂ්‍ය ශිෂ්‍යාවන් මේ සඳහා තෝරා ගැනේ. 2020 වසරේදී සිසුන් 28 දෙනෙකුට අවස්ථාව ලබා දීමට නියමිතය.

Www.doenets.lk

මෙම වරප්‍රසාදය ලබා ගන්නා ශිෂ්‍ය ශිෂ්‍යාවන් අධ්‍යාපනය ලබා පැමිණ අවම වශයෙන් වසර 10ක් ශ්‍රී ලංකාවේ සේවය කළ යුතුය.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය අහිමි වන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට උසස් අධ්‍යාපනය ලැබීමට රු. මිලියන 1.1ක් බැගින් පොළී රහිත ණයක්. ඒ සඳහා වසර දෙකක සහන කාලයක් තිබේ. සමස්ත ණය මුදල ගෙවීමට වසර 12ක කාලයක්. ඒ සඳහා වෙන් කෙරෙන මුදල රු. බිලියන 200කි.

කාන්තාවන්ට සහන රැසක්

මෙම අයවැය යෝජනාවලියේ විශේෂත්වයක් වූයේ, ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායට කාන්තා දායකත්වය වැඩි කිරීම සඳහා වන විශේෂ යෝජනා කිහිපයක් ඉදිරිපත් කිරීමයි.

මුදල් අමාත්‍ය මංගල සමරවීර අයවැය යෝජනා ඉදිරිපත් කරමින් පැවසුවේ, ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ප්‍රජාව තුළ 50%ත් 60%ත් අතර ඉහළ ප්‍රතිශතයක් කාන්තාවන්ට වෙන් වී තිබුණ ද, ශ්‍රම බලකායේ කාන්තා නියෝජනය 30%ක් පමණක් බවය.

කාන්තාවන්

ඊට ප්‍රායෝගික ගැටලු රැසක් බලපා ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ අනුව, ශ්‍රම බලකායට කාන්තා දායකත්වය ඉහළ දැමීම සඳහා විශේෂ යෝජනා කිහිපයක් ඉදිරිපත් විය.

  • සේවකයින් 250 වැඩි ආයතනවල ළමා සුරැකුම් මධ්‍යස්ථාන පවත්වාගෙන යාමට දිරිමත් කිරීම සහ ආධාර ලබා දීම.

  • තෝරාගත් පාසල්වල නිවාඩු දින සහ පාසල් අවසන් වීමෙන් පසු ළමා සුරැකුම් මධ්‍යස්ථාන පවත්වාගෙන යාමට ආධාර ලබා දීම.
  • මාස 3ක ප්‍රසූත නිවාඩු ලබා දෙන ආයතනවලින් අදාළ මාස සඳහා මව්වරුන්ට වැටුප් ගෙවීමට සමාගම් බද්ද අඩු කිරීම.
  • ප්‍රසූත නිවාඩු මාස 4ක් දෙන්නේ නම් එම අතිරේක මාසය සඳහා වැටුප් ගෙවීමට සමාගම් බදු 100%ක් දක්වා කපා හැරීම.
  • ව්‍යාපාරික අංශයේ අධ්‍යක්ෂ මණ්ඩලවල කාන්තා දායකත්වය ඉහළ දැමීම.
  • කාන්තාවන්ට සේවය කිරීම සඳහා ඔවුන්ට පහසු සහ නම්‍යශීලී වේලාවන් ලබා දීම.
  • කාන්තාවන්ට නිවසේ සිට රාජකාරී කිරීමට අවස්ථාව සැලසීම.

අමාත්‍ය මංගල සමරවීර පෙන්වා දුන්නේ, දරුවන්ගේ රැකවරණය ඇතුළු විවිධ කරුණු නිසා කාන්තාවන් ශ්‍රම බලකායෙන් ඉවත්ව යාම අවම කිරීම සඳහා මෙම පියවර ගන්නා බවය.

වැසිකිළි පහසුකම්

මේ අතර, ශ්‍රී ලංකාව තුළ වැසිකිළි පහසුකම් නොමැති පුද්ගලයින් මිලියනයක් පමණ සිටින අතර 2019 වසරේදී සියලු ශ්‍රී ලාංකිකයින්ට වැසිකිළි පහසුකම් සලසා ගැනීමට අවශ්‍ය සහන ලබා දෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ඔහු පැවසුවේ, දුම්රිය ස්ථාන සහ බස් නැවතුම්පොළවල නවීන වැසිකිළි ඉදි කර ඒවා නඩත්තු කිරීම පෞද්ගලික අංශයට පවරන බවය.

දුම්රිය සහ අධිවේගී මාර්ග

කම්කරුවන්

මේ වන විට පවත්නා දුම්රිය මාර්ග පද්ධතිය ඌණ උපයෝජිත තත්ත්වයේ පවතින බව පැවසූ මුදල් අමාත්‍යවරයා සඳහන් කළේ, දුම්රිය මාර්ග සහ දුම්රිය වැඩි දියුණු කිරීම කල්බදු පදනම යටතේ පෞද්ගලික අංශයට ලබා දෙන බවය.

මීට අමතරව, දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉතිරි කොටස්, මධ්‍යම අධිවේගී මාර්ගය, රුවන්පුර අධිවේගී මාර්ගය ඉදිකිරීම් ආරම්භ කිරීමට ද ප්‍රතිපාදන වෙන් කර ඇතැයි අමාත්‍යවරයා පැවසීය.

ශ්‍රී ලංකාවේ ඉදිකිරිම් සඳහා විදේශ සමාගම්වලට ටෙන්ඩර් දැමිය හැක්කේ එම ඉදිකිරීම් විදේශ ආයෝජනයක් මගින් සිදුවනවා නම් හෝ එම අයදුම්කරන විදේශ සමාගම ශ්‍රී ලංකා සමාගමක් සමග 50%ක හවුල් ව්‍යාපාරයක් තිබුණහොත් පමණක් බවට නව රෙගුලාසි පනවන බව ද මෙහිදී සඳහන් විය.

ක්‍රීඩා අංශය

මුදල් අමාත්‍ය මංගල සමරවීර අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේ, ක‍්‍රීඩාව සඳහා දැනටමත් රු. මිලියන 3,800ක් වෙන් කර ඇති බවය.

මළල ක‍්‍රීඩා, වොලිබෝල්, ටේබල් ටෙනිස් වැනි ක‍්‍රීඩා දිරිමත් කිරීම පිණිස ජාතික ඔලිම්පික් අරමුදල තර කිරීම, ක්‍රීඩාංගණ වැඩි දියුණු කිරීම, ගම්පෙරළිය හරහා කී‍්‍රඩා ආශ‍්‍රිත යටිතල පහසුකම් සංවර්ධනය කිරීම ඇතුළු යෝජනා ද ඉදිරිපත් විය.

-BBC-

සිංහල සේවය

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*