“චන්ද්‍රිකා-දුමින්ද-මංගල” හවුලේ මනදොළ සපුරන රනිල්ගේ ජාතික ආණ්ඩුවට පක්ෂ විපක්ෂ විරෝධය..!

Spread the love

යෝජනාව පැරදවීමට ජනපති තීරණය කරයි..!

පොහොට්ටුව නඩු මගට..!

එජාප පසු පෙළ-TNA-ජවිපෙ පවා විරුද්ධයි..!

 

(උපුල් බණ්ඩාර)  

ආණ්ඩුවේ ඇමති ධූර සංඛ්‍යාව වැඩි කර ගැනීමේ හුදු අරමුණින් යුතුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ජාතික ආණ්ඩු යෝජනාව සම්බන්ධයෙන් ඔහු නායකත්වය දරන එක්සත් ජාතික පක්ෂයේ සහ  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතරයේ ද  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ද  දැඩි විරෝධය එල්ල වෙමින් පවතී.

විශේෂයෙන් මේ ජාතික ආණ්ඩු යෝජනාවට ජනතා විමුක්ති පෙරමුණ සිය විරෝධය ඍජුව ප්‍රසිද්ධියේ ම ප්‍රකාශ කර ඇති අතර ද්‍රවිඩ ජාතික සන්ධානයේ ස්ථාවරය වී තිබෙන්නේද ඇමති ධූර සංඛ්‍යාව වැඩි කෙරෙන ජාතික ආණ්ඩුවක අවශ්‍යතාවයක් රටට ජනතාවට නොමැති බවය.

පොදුවේ දේශපාලන පක්ෂවලින් ද , මහ නා හිමිවරුන් ප්‍රධාන සර්ව ආගමික නායකයින්ගෙන්  බහුතරයකගේ ද, උගතුන්, බුද්ධිමතුන් සහ  වෘත්තීයවේදීන්ගේ ද එල්ල වෙමින් තිබෙන මේ විරෝධය හමුවේ එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවේ ජාතික ආණ්ඩු යෝජනාව පරාජයට පත්කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද තීරණය කර තිබේ.  

ඒ අනුව පාර්ලිමේන්තු විවාදයෙන් පසුව ජාතික ආණ්ඩු යෝජනාවට අදාළ විවාදයේදී ඊට විරුද්ධව ඡන්දය පාවිච්චි කරන්න යැයි  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අගහරුවාදා (05) කැඳවා ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී එම මන්ත්‍රීවරුන්ට දැනුම් දීමට නියමිතය.

මේ අතර මේ ජාතික ආණ්ඩු යෝජනාවට එරෙහිව අධිකරණය හමුවේ නඩු පවරන බව පෙන්වා දෙන  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන, මාතර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා එම නිසා මේ යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්ථකයට ඇතුළු කර විවාදයට ගැනීමෙන් වැලකි සිටීමට කතානායක කරු ජයසූරිය මහතා පියවර ගත යුතු යැයි ද කියා සිටියි.   

මේ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ දැඩි ස්ථාවරය වී තිබෙන්නේ මේ වන විටත් ආණ්ඩුව නියෝජනය කරමින් ඇමැති ධූර පවා දරන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේම මන්ත්‍රීවරයෙකු එකතු කර ගෙන,  ඊනියා ජාතික ආණ්ඩු සංකල්පයට මුවා වී ඇමති ධූර වැඩි කර ගැනීමට ආණ්ඩුව දරන නිර්ලජ්ජිත උත්සාහය පරාජය කළ යුතු බවය.

මේ කියන මන්ත්‍රීවරයා වන්නේ එක්සත් ජාතික පෙරමුණෙන් තොරව  ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය යටතේ මඩකලපු දිස්ත්‍රික්කයට තරඟ කර එම පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ එකම පුද්ගලයා වන සයිඩ් අලි සහීර් මවුලානා මහතාය.

මේ ජාතික ආණ්ඩු ක්‍රියාදාමයේ විශේෂම සිද්ධිය වන්නේ, ඊට එක්සත් ජාතික පෙරමුණේ පසු පෙළ මන්ත්‍රීවරුන් සහ එක්සත් ජතික පක්ෂයේ බොහෝ ජ්‍යෙෂ්ඨ නායකයින් සිය විරෝධය පළ කරමින් සිටීමය.

එක්සත් ජාතික පක්ෂයේ  පසු පෙළ මන්ත්‍රී කණ්ඩායම සහ එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් පෙන්වා දෙන්නේ මේ ජාතික ආණ්ඩු සංකල්පය පිටුපස සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හඬක් පිළිගැනීමක් සහ නිසි ස්ථානයක් නොමැති හිටපු ජනාධිපතිනි චන්ද්‍රික බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය  ඇතුළු එම පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද  දිසානායක මහතා  ප්‍රධාන  සුළුතර කණ්ඩායමත් එක්සත් ජාතික පෙරමුණේ මුදල් ඇමති මංගල සමරවීර සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම යන මහත්වරුන්ගේ කල්ලිය බවය.

එක්සත් ජාතික පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ ස්ථාවරය පැහැදිලි කරමින් ප්‍රකාශයක් කරන කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතා අවධාරණය  කර සිටින්නේ ජාතික ආණ්ඩු පිහිටුවා රටට බරක් වන සුවිශාල ඇමැති මණ්ඩලයක් පත් නොකර එක්සත් ජාතික පෙරමුණු තනි ආණ්ඩුවේ තිස්දෙනෙකුගෙන් යුතු අමාත්‍ය මණ්ඩලය යටතේ ජාතික මැතිවරණයක් යටතේ ආණ්ඩුව ඉදිරියට ගෙන යා යුතු බවය.

කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පෙරමුණු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා සහ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාරත්න පරණවිතාන යන මහත්වරුන් ද අවධාරණය කර සිටින්නේ, සුවිශල් කැබිනට් මණ්ඩලයකින් යුතු ජාතික ආණ්ඩුවක අවශ්‍යතාවයක් නොමැති බව වන අතර ද්‍රවිඩ ජාතික සන්ධානයේ   යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් මහතා පෙන්වා දෙන්නේද ශ්‍රී ලංකාව වැනි රටකට ඇමැතිවරුන් තිහ ඉක්මවූ කැබිනට් මණ්ඩලයක් අවශ්‍ය නොවන බවය.

මේ අතර එක්සත් ජාතික පෙරමුණේ ජ්‍යෙෂ්ඨ නායකයින් ගණනාවක් “lankanewsweek”වෙත අවධාරණය කර සිටියේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ සහ දුමින්ද දිසානායක, මංගල සමරවීර, මලික් සමරවික්‍රම, දොස්තර රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක  යන මහත්වරුන් ඇතුළු කණ්ඩායමේ පෞද්ගලික දේශපාලන පැවැත්ම, න්‍යාය පත්‍රය සහ අවශ්‍යතා වෙනුවෙන් රටට ජනතාවට බර නොපැට විය යුතු අතර පක්ෂයේ අනාගතයත්, අනන්‍යතාවයත් තරුණ මන්ත්‍රීවරුන්ගේ අනාගතයත් ඒ අය වෙනුවෙන් පාවා නොදිය යුතු බවය.          

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*