ගෝඨා හැලෙයිද..?

Spread the love

(ටිරාන් කුමාර බංගමආරච්චි)

යුරෝපයේ සිටින ‘ඩ්‍රැගන් ෆ්ලයි’ නම් මැස්සාගේ ඉරණම.

ඩ්‍රැගන් ෆ්ලයි මැස්සාට තම පසුපස, මුඛය තුළට ගැනීමට තරම් නම්‍යශීලී සිරුරක් තිබේ. එහෙත් තමන් මේ ඉතා පහසුවෙන් මුඛය තුළට ගනු ලබන්නේ තම ශරීරයේම පිටුපස බව මැස්සා නොදනී. ඒ නිසාම මැස්සා තම ශරීරයේ පිටුපස ගිල දමන අතර අවසානයේ මැස්සාගේ මරණය සිදුවන්නේ තමන්ගේ ශරීරය තමන්ම අනුභව කිරීමෙන් හෙවත් එක්තරා ආකාරයක සියදිවි නසා ගැනීමකිනි.

මහින්ද රාජපක්ෂට තම බලපරාක්‍රමය අනුව 2020 ජනාධිපති අපේක්ෂකයා තේරීමේ වරමක් ලැබී ඇති අතර මේ නිසාම ඔහු මේ මොහොතේ ඩ්‍රැගන් ෆ්ලයි නම් මැස්සාගේ ඉරණමට ගොදුරු වී ඇත.

2020 ජනාධිපති අපේක්ෂකයා ලෙස මහින්ද රාජපක්ෂ සැබැවින්ම ගෝඨාභය රාජපක්ෂ නම් කර ඇත්ද? එසේ නම් කළේ නම් ඔහු ඒ බව එළිපිට කියන්නට මැලිවන්නේ ඇයි? සැබැවින්ම මහින්ද රාජපක්ෂ පොහොට්ටුවේ අපේක්ෂකයා ලෙස ගෝඨාභය තෝරාගෙන ඇත්නම් ඔහු ‘ඩ්‍රැගන් ෆ්ලයි’ මැස්සාගේ ඉරණමට ගොදුරු වන බව ඔහුට නොදැනේද? ඔහු මේ ගිල දමනුයේ ඔහුගේ පසුපස පැත්තද?

මහින්ද රාජපක්ෂ යනු දේශපාලනිකව උපායශීලී මනුෂ්‍යයෙකි. ඒ නිසාම ඔහු ආවාට ගියාට තීන්දුවකට බසීවි යැයි සිතිය නොහැකිය. අනෙක් අතට 2015දී පරාජය වූ ඔහු බොහෝ පාඩම් ඉගෙන ගත් අතර එදා ඔහුව පරාජය කළ ජනපති සිරිසේන සමග ආණ්ඩු පිහිටුවන්නටද ක්‍රියා කළේය. ඉන් අප්‍රසාදයටද පත්විය. මහින්ද රාජපක්ෂට ජනපති සිරිසේන සමග එකතු විය හැකි වූයේ කෙසේද? නැවත සිතුවහොත් සිරිසේන ඔහුට එරෙහිව කළ දෙයක් නැති බව පැහැදිලිය. සිරිසේන වන්නේද පාවිච්චිවීමකි.

2015දී රනිල්, චන්ද්‍රිකා වටා එකතු වන බලවේග ඒ අයගේ න්‍යාය පත්‍රයකට අනුව මහින්දව පරද්දන්නට පොදු අපේක්ෂකයකුයැයි රූකඩයක් ගෙනේ. ඒ සඳහා තෝරාගෙන තිබුණේ සිරිසේනවය. සිරිසේනට අගමැතිකම නොදී නොසලකා හැරීමත් මෙලෙස වෙනස් වන්නට හේතු වන්නට ඇතැයි මහින්ද වුව පසුව සිතන්නට ඇත. ඒ වරද නිවැරදි කර ගත්විට ඒ දෙපළටම තම තමන්ට සමාව දිය හැකිය. අවසානයේ සිදුවූයේ එයය. බලය වෙනුවෙන් ඒවා පුංචි පහේ ප්‍රශ්නය. බත ඉදෙනකම් පන්නයේ ගැටුම්ය. අපට කියන්නට වුවමනා එතරම් අවධානාත්මක අපකීර්තිමත් අවැඩකට අත ගැසූ මේ දෙපළ මේ තරම් ඉක්මනට දෙකඩ වීද යන්නය.

තමාව ජනපති කළ යහපාලන නඩයම අහකට කොට මහින්ද සමග ආණ්ඩු හදන්නට ගිය සිරිසේනව ඉතා පහසුවෙන් පැත්තකට කොට මහින්ද 2020ට ගෝඨාව ගෙනෙයිද? මහින්ද අගමැති කොට ආණ්ඩු කරන්නට තරම් නිර්භීත වූ සිරිසේනව මහින්ද එක් සැණින් අමතක කළාද? මහින්ද ආණ්ඩු කරද්දී ගෝඨා ආරක්ෂක ලේකම් ලෙස ක්‍රියා කළ බව ඇත්තය. ඒ මහින්දගේ බලය ඇඟට ගෙනය. එහෙත් සිරිසේන කළේ ඊට වඩා මහා පරිමාණ පරිත්‍යාගයකි. ඉන් දේශපාලනිකව සිරිසේන තුට්ටුවට වැටුණි. මහින්දද ක්ෂණික අගමැති වීම නිසා සිල්ලර විය. එලෙස පජාත වූ මේ දෙපළ නැවත ඔළුව නොඋස්සා එකාවන්ව නොනැගිට තරගය අතරමග දෙකඩ කරගනීද..?

මහින්දගේ පරිණත දේශපාලන භාවිතය දෙස බලද්දී එකක් පැහැදිලිය. එනම් ඔහු තවමත් 2020 අපේක්ෂකයා නම් කර නැති බව සහතිකය. කොටින්ම ඔහු තවම ගෝඨාට නියත විවරණදී නැති බවද පැහැදිලිය. එය තවමත් විවෘතය.

ගෝඨාගේ බලහත්කාරය

මේ මොහොතේ ගෝඨා ක්‍රියා කරනුයේ 2020 ජනාධිපති අපේක්ෂකයා ලෙස නොව 2020 ජනාධිපති ලෙසය. ඔහු මුහුද හත් ගව්වක් දුර තිබියදී අමුඩය ගසා ගත් හැඩය. බැසිල් විටෙක කීවේ ගෝඨා තමා සූදානම් බව කලින්ම කී බව හොඳයි කියාය. එයින් කොතනකවත් ඒ නිසා අපි ගෝඨාවම තෝරා ගත්තා යැයි ඉඟියක්වත් මතු නොවේ. අද මහින්ද කියනුයේ තමා දිනන අපේක්ෂකයෙක් දමන බවය. එසේ නම් ඒ ද ගෝඨා බව ඉඟි නොවේ. දිනන අපේක්ෂකයා ගෝඨා විය නොහැකිය. ගෝඨා යනු බලහත්කාරයෙන් ගොඩනගන්නට උත්සාහ කරන චරිතයක් බව දැන් පැහැදිලිය. එය වුවමනා පිරිසක් සිටිති.

විමල් වීරවංශ, ගම්මන්පිල ඇතුළු අමු ජාතිවාදී හැතිකරයටම ගෝඨා වුවමනාය. ඒ අයට ගැළපෙන නියම දේශපාලන සුරුවම ගෝඨාය. එහෙත් එයට ලොකු ආයුෂ නැති බව මහින්ද නොදන්නවා නොවේ. ඔහු දැන් පෙරට වඩා කපටිය. කවුරු ඒ පැත්තෙන් රජ වෙන්නත් මහින්ද වුවමනාය. එසේ නම් මහින්ද ඒ කවුරු වුව රජ කරන්නේ යුවරජ තුමා වී ඉන්පසු අධිරජ වන්නටය.

මේ සෙල්ලමට 19 වැනි සංශෝධනය ඔහුට ඕනෑවටත් වඩා උපකාරී වනු ඇත. එසේ නම් මහින්ද මේ දඟලනුයේද නැවත බලය අල්ලන්නටය. රජ වන්නටය. ඒ සඳහා සුබ සහ යස නාඩගම කරන්නට ඔහු මනාප නැත. ඒ බව නම් ස්ථිරය. එසේ නම් ඔහු මේ ඉක්මනට තම මනාපය අහවලාට යැයි කියයිද? එහෙත් ඕනෑම කෙනකුට හිතාගෙන ක්‍රියා කරන්නට ඉඩ හැර ඇත. ඒ අනුව ගෝඨා සම්පූර්ණ ඒ තැන ගෙන ඇත.

එහෙත් බොහෝ දුරට අවසාන මොහොතේ ගෝඨා නම මහින්දගෙන් හැලෙන්නට ඉඩ ඇත. එයින් සිරිසේන ස්ථිරයයි නිගමනය නොවේ. ඔහුද විසිවී විස්සට මහින්ද වෙනම කෙනෙකු දමන්නට ඉඩ ඇත. ඒ කවුරු වුව රාජපක්ෂ කෙනෙක්ම විය හැකි බව පමණක් උපකල්පනය කළ හැකිය. එසේ නොවුණහොත් රාජපක්ෂලාටත් වඩා මහින්ද දිනා ගත් අයෙක් විය හැකිය. ඒ ගෝඨා නම් නොවන බව මහින්දගේ මුහුණ කියාපාන සත්‍යයය.

දැනට ගෝඨා කරළියට පැමිණ ඇත්තේ බලහත්කාරයෙනි. මේ යන ගමනින් එය පැහැදිලිය. මුලදී ගෝඨා කට වරද්දා ගත් කල එය ඔහු නිවැරදි කළමුත් එදා ඔහු කීවේ ඔහුට වුවමනා දේ බැවින් නැවත එයම මතුවිය. ගෝඨාගේ එකම සිහිනය ජනාධිපතිවීමය. එයට ඔහුට මහින්දගේ කැමැත්තත් වුවමනා නැති බව කවුරු හෝ උපදේශකයන් ඔළුවට දමා අවසන්ය. මේ නිසා ගෝඨා දැන් කොතැනකටත් මහින්දගේ තේරීම තමන් බවත් මහින්ද තෝරන කෙනා ඉදිරියට එන බවත් කියන්නේ නැත. ඔහු ක්‍රියා කරනුයේ කවුරු කුමක් කීවත් 2020 තමන්ගේ බවට වූ අධිමානයෙනි.

ඇවිදීමේ මංතීරු, කොළඹ සංවර්ධන වැනි වැඩ කළ තමන් තරම් කෙනෙක් නායකකමට තවත් නැති ගාණටය. ඔහුද අද එදා ෆොන්සේකා අන්ධ වූ ගාණටම අන්ධ වී ඇත. ෆොන්සේකා ප්‍රතික්ෂේප වූ තරමටත් වඩා ජනතාව අතින් ගෝඨා ප්‍රතික්ෂේප විය හැකිය. ගෝඨා යනු දිනිය හැකි අශ්වයකු නොවේ. ඒ අපගේ හැඟීමය. මහින්ද පවා එය දන්නේය. මහින්දවත් පරාජය කළ මිනිසුන් මහින්ද ගෝඨාව දැම්මොත් දිනවාවි යැයි කියන්නේ කෙසේද? මහින්ද කියන දිනන අපේක්ෂකයා ගෝඨා නොවන බව පැහැදිලිය.

බැසිල්

රාජපක්ෂලාගේ සජිත් බැසිල්ය. ඔහු බලයට ආශාමුත් සජිත් මෙන් දෝතටම දෙන තෙක් අත දමා නොගනියි. රනිල් බලය සජිත්ට දෙන්නට බයය. රනිල් දෙන තෙක් සජිත් ගන්නද බයය. බැසිල්ට ඇත්තේද ඒ ලෙඬේමය. එහෙත් මේ දෙපළම සුළු කොට තැකිය නොහැකිය. දේශපාලනික අත්දැකීම්වලින් බැසිල් ළඟට කිට්ටුවීමටවත් ගෝඨාට බැරිය.

තෝරා ගත යුත්තේ සහෝදරයකු නම් මහින්ද ගෝඨා වෙනුවට බැසිල් තෝරා ගන්නට ඇති ඉඩ වැඩිය. ඔහුගේ ආණ්ඩුවේ ගෝඨාට වඩා බැසිල් විශාල වැඩ කොටසක් කළේය. අදද පොහොට්ටුව තුළ ඇත්තේ බැසිල්ගේ බලයය. පොහොට්ටුවක් නිර්මාණය කළේ බැසිල්ය. එසේ නම් බැසිල් 2020ට නුසුදුසු ඇයි? බැසිල්ට වඩා ගෝඨා හොඳයි කියන්නට හේතුවේද?

මහින්දගේ සහෝදර කැළ අබිබවා මහින්දගේ පවුලේ අයට වඩා කිට්ටුවන්තයා වන්නට සිරිසේනට හැකිවේදැයි කවුරු දනීද? සිරිසේනත් ඕනෑවටත් වඩා නැවත බලය බලාපොරොත්තු වන බව පැහැදිලිය. බලය අතහරින්නට අකමැතිම පුද්ගලයා තේරුවහොත් ඒ සිරිසේනය. ඒ වෙන කිසිවක් නිසා නොව, ඔහුට බලයේ නියම රස දැනුණේ අවසාන කාලයේය. ඒ නිසා කෙසේ හෝ නැවත ඔහු ජනාධිපතිකමට එන්නට හැකි උපරිමය කරනවා ඇත. ඊට ඔහුට ඕනෑවන්නේ මහින්දගේ ආශිර්වාදයය. ඒ වෙනුවෙන් ඔහු මහින්ද සමග ඕනෑම ගිවිසුමකට යනු නියතය.

රනිල්ට වඩා ආණ්ඩු බලය දෙන්නට එකඟ වනු ඇත. කොටින්ම මහින්දගේම ආණ්ඩුවක් පිහිටුවන බවට එකඟවීමට ඉඩ ඇත.එහෙත් කාවවත් විශ්වාස කරන්නේ කෙසේද? ජනපති සිරිසේන විශ්වාස කළ නොහැකිම මිනිසෙකි. මේ අතින් බලන විට අද වඩා අසරණම දේශපාලකයා වී ඇත්තේ මහින්දය. ඒ ඔහුව දී ඇත්තේ එකම වරයක් නිසාය. එයින් ඔහු ඉල්ලිය යුත්තේ කාවද? ඒ කවුරු වුව තවමත් ඔහු ඒ කවුද කියා නම් කර නැත. ගෝඨා මේ නටනුයේ හිතුමනාපයට විනා තරගයට නොවේ. තරගයට නටන විට ගෝඨා හෙම්බත් වී අහකට වී අත්පුඩි තලන්නෙක් වීමට ඉඩ ඇත.

ඇමරිකානු පුරවැසිභාවය දැන් දැන් ඉවත් කළා යැයි ප්‍රචාරය වුවද එය ගෝඨා තවමත් ඉටුකර නොගත්තේ වෙන කිසිවක් නිසා නොව තවමත් මහින්දගෙන් නියත විවරණ නොලැබුණු නිසාය. වෙහෙර ගිල්ල එකාට අග්ගලාවත් කජ්ජක්ද කියන්නා සේ ගෝඨා ගැන මහින්දට ලොකු පැහැදීමක් ඇතැයි නොසිතේ. එකට සිට බෙල්ල කපන සිරිසේන වුවත් විශ්වාස නැති බව පැහැදිලිය. එහෙත් මේ ගඟෙන් එගොඩ වෙන්න නම් මහින්දටත් ඔරුවක් ඕනෑ වේ. ඔහු මේ මීය කඩන්නේ අත ලෙවකන්නට නොවේ.

මහින්දට ජනාධිපති වෙන්නට බැරි වුවද බලය ඇල්ලිය හැකිය. ඊට විශ්වාසවන්තම ජනාධිපති කෙනකු ඕනෑකර තිබේ. මහින්ද තවමත් ඔහුව තෝරනවා සහතිකය. ඒ සහතිකය කාටවත් මේ වෙන තෙක් නොදුන් බවත් සහතිකය.

ගෝඨා කරළියට ඒම උත්කර්ෂයෙන් සමරන අය අතර එජාපයට ළැදි ඈයෝද සිටිති. ඒ වෙන කිසිවක් නිසා නොව ගෝඨා එන්නේ නම් මුලින්ම විනාශවන්නේ සිරිසේන බැවින්ය. සිරිසේන කළ පාවාදීම නිසා මහින්ද සිරිසේන තෝරා නොගෙන කවුරු තේරුවද ඔවුන් කැමතිය. ඒ ජය පරාජය කෙසේ වෙතත් එයින් අවසන් තරගයටවත් නොඑන තැනට තල්ලු වී සිරිසේන අනාථයකු වන නිසාය. ඒ නිසා ඔවුහු ගෝඨාට නියත විවරණ දී සිටිති. ඒ සිරිසේනට රිද්දන්නටය. එයින් මහින්දටත් රිදී ඇත. ඒ නම් නම් නොකර ගෝඨා තමාම නම් කරගෙන ඇති නිසාය.

2015දී ගෙනා පොදු අපේක්ෂක භූමිකාව නිසා අද පක්ෂ සියල්ලම අනාථ වී ඇත. එකදු පක්ෂයකටවත් කල්තියා මමයි නායකයා, මමයි ඉල්ලන්නේ කියන්නට බැරිය. සැවොම බලන්නේ අපේක්ෂකයන් කුලියට ගන්නටය. එහෙත් සිරිසේන අන්නපු ඇන්නිල්ලට පොදු අපේක්ෂකයාත් නන්නත්තාර චරිතයක් වී ඇත. සිරිසේන ජනාධිපති වූ පසු එක් දෙයක් විය. එනම් දැන් ඕනෑම අයෙක් සිතනුයේ තමන්ටද රටේ නායකයා විය හැකි බවය. නායකත්වය ඒ තරමට හෑල්ලු වී තිබේ. අනාගත නායකයා වන බවට නම් දෙන ඉඟිදෙන සැවොම දෙස බැලුවද ඉදිරියේදීද එහි කිසිදු වෙනසක් නැත.

(රාවය)

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*