ගෝඨාගෙන් මහින්දට තර්ජන..!

Spread the love

“ජනපති අපේක්ෂකකම දෙනවා ද, නැද්ද කියා හරියට කියනු”

“එහෙම නොකොළොත් විකල්ප තීන්දුවක් ගන්නවා”

“පාවිච්චි වෙන්න හෝ කඩේ යන්න මම සුදානම් නැහැ”        

(සුජිත් මංගල ද සිල්වා)

ජනාධිපති අපේක්‍ෂකත්වය ලබා දෙනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන්  නිශ්චිත සහ නිවැරැදි උත්තරයක් තමාට ඉක්මනින්ම ලබා දෙන්න යැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා,හිටපු ජනාධිපති සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා වෙත ඍජුවම දැනුම් දී තිබේ.

කොළඹ,විජේරාමයේ පිහිටි මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසට සඳුදා (04) රාත්‍රියේ හදිසියේම ගොස් ඔහු මුහුණට-මුහුණ හමුවී මේ බව දැනුම් දී ඇති ගෝඨාභය රාජපක්ෂ මහතා, ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් එවැනි නිශ්චිත සහ නිවැරදි උත්තරයක් ලබා නොදෙන්නේ නම් තමාට විකල්ප දේශපාලන තීන්දුවක් ගැනීමට සිදු වන බවට  ද අනතුරු අඟවා ඇත.

එසේ වුණොත් ඒ සම්බන්ධයෙන් තමාට පසුව දෝසාරෝපනය කරන්න එපා යැයි ද ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී දැනුම් දී තිබේ.

බැසිල් රාජපක්ෂලා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ යටතේ මහ නුවර අද (08) පවත් වන ජන රැළියට සහභාගී වන ලෙසට තමාට කිසිදු ආරාධනයක් සහ දැනුම්දීමක් නොකර තමාගේ කිසිදු අවසරයකින් ද තොරව තමා එම රැළියට එක් වන ලෙසට ප්‍රචාරය කරමින් ප්‍රසිද්ධියක් ගැනීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා හමුවේ සිය විරෝධය දැඩිව පළ කර ඇති ගෝඨාභය රාජපක්ෂ මහතා තමා ඒ ඒ අයගේ දේශපාලන න්‍යාය පත්‍ර,අවශ්‍යතා සහ යටි අරමුණු වෙනුවෙන් පාවිච්චි වීමට සුදානම් නොමැති බව ද අවධාරණය කර ඇත.

එමෙන්ම මේ ප්‍රශ්නවලින් බේරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්ව විධායක ජනාධිපතිකම අහෝසි කිරීමට විපක්ෂ නායකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා දරන උත්සාහය තමා අනුමත නොකරන බව එහිදී කියා ඇති ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ ඒ අය සිය දේශපාලන පැවැත්ම,බලය සහ නායකත්වය ආරක්ෂා කර ගැනීම සඳහා හදිසියට කරන මේ වැඩවලින් අනතුරට පත් වන්නේ රට සහ ජනතාව යැයි ද අවධාරණය කර තිබේ.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මේ ඍජු ස්ථාවරය හමුවේ මහින්ද රාජපක්ෂ මහතා මේ වන විට දේශපාලන වශයෙන් දෙලොවක් අතර අතරමං වී දැඩි අර්බුදයකට මුහුණ පා සිටින බව දේශපාලන බුද්ධි තොරතුරු අනාවරණය කර සිටියි.

මේ පසුබිම හමුවේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග එක් වීමට ඉඩ තිබෙනවා නේදැයි මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන සගයෙකු ඔහුගෙන් විමසා ඇති අවස්ථාවේදී ඔහු ඊට ප්‍රතිචාර දක්වා තිබෙන්නේ එසේ වුණොත් ඒ තත්ත්වය විශාල ප්‍රශ්නයක් වනු ඇති බව කියමිනි.       

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*