ගැඹුරු මුහුදේ ඇති තැපැල් පෙට්ටිය..!

Spread the love

(සමීර වීරක්කොඩි)

“සුසාමි” කියන්නේ ජපානයේ “වකයාමා” පළාතේ පිහිටි 5000ක පමණ ජනගහනයක් වෙසෙන කුඩා ධීවර ගම්මානයක්. කාලයක් කාගෙවත් අවධානයට ලක් නොවුණු මේ ගම්මානය පසු කලෙක ගිනස් පොතේ තැනක් හිමිකර ගැනීමට සමත් වෙනවා. ඒ ලෝකයේ ගැඹුරින්ම පිහිටි තැපැල් පෙට්ටිය ඇති ගම්මානය ලෙසයි. එහි මුහුදේ මීටර් 10ක් ගැඹුරේ මේ තැපැල් පෙට්ටිය පිහිටා තිබෙනවා.

දේශීය තැපැල් පද්ධතියේ නිල තැපැල් එකතු කිරීමේ ස්ථානයක් ලෙස මේ තැපැල් පෙට්ටිය පිළිගැනීමට ලක් වන අතර අවුරුද්දකට මෙහි බහාලන ලියුම් ප‍්‍රමාණය 1000-1500ත් අතර ප‍්‍රමාණයක් වන බව සඳහන්. “වකයාමා” නගරයේ සිට පැය 02ක පමණ කාලයක් ගතවන දුම්රිය ගමනකින් ළඟා විය හැකි “සුසාමි” අතිශයින් සුන්දර මුහුදු තීරයකට හිමිකම් කියන ගම්මානයක්.

“සුසාමි” වෙත පැමිණෙන කිමිදුම්කරුවන්ට මෙහි ඇති කිමිදුම් උපාංග සපයන සාප්පුවකින් ජලයට ඔරොත්තු දෙන අයුරින් නිමවා ඇති පින්තූර තැපැල්පත් මිලදී ගෙන තෙල් ගතියෙන් යුත් විශේෂ  තීන්ත වර්ගයක් වෑහෙන “මාකර්” පෑනකින් එහි සටහන් තබා දිය යට තැපැල් පෙට්ටියට දැමිය හැකියි. අනතුරුව දින කීපයකට සැරයක් තැපැල් පෙට්ටියේ ලිපි එකතු කරන ඉහත සඳහන් සාප්පුවේ සේවකයෝ එය ප‍්‍රදේශයේ තැපැල් කන්තෝරුව වෙත භාර දෙන අතර එතැන් සිට ඒ ලිපිය ලොව  ඕනෑම තැනකට බෙදා හරිනවා.

මෙම අපූරු තැපැල් පෙට්ටිය ඉදි කරනු ලැබුවේ වසර 1999දී වකයාමා ප‍්‍රදේශය සංචාරකයින් අතර ප‍්‍රවර්ධනය කිරීමේ අරමුණින් යුතුවයි. එම අවස්ථාවේ “සුසාමි” නගරයේ කිසිදු සංචාරක ආකර්ශණයක් නොවූ අතර මේ දිය යට තැපැල් පෙට්ටිය ඉදි කිරීමේ යෝජනාව ගෙන ආවේ එවකට “සුසාමි” තැපැල් කාර්්‍යාලයේ තැපැල් ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ “තොෂිහිකෝ මත්සුමොටෝ” විසිනුයි. එතැන් සිට දිගින් දිගටම සංචාරකයින් අතර ප‍්‍රචලිත වූ මේ තැපැල් පෙට්ටිය 2002 වසරේ ලොව ගැඹුරෙහිම පිහිටි තැපැල් පෙට්ටිය ලෙස ගිනස් වාර්තා අතරට එක් වුණා.

වාත්තු කළ යකඩෙන් නිමවා ඇති නිසා මුහුදු වතුරෙන් හානියට පත්වීම හේතුවෙන් මාරුවෙන් මාරුවට භාවිත කිරීම සඳහා තැපැල් පෙට්ටි 02ක් මේ සඳහා යොදා ගන්නවා. එක් තැපැල් පෙට්ටියක් මාස 06ක කාලයක් භාවිත කළ පසු ගොඩගෙන අනෙක් තැපැල් පෙට්ටිය දිය යට තැන්පත් කොට ගොඩට ගත් තැපැල් පෙට්ටිය ශුද්ධ පවිත‍්‍ර කොට තීන්ත ආලේප කොට තබා නැවත මාස 06කට පසු එය ගැඹුරු දියේ රඳවනවා.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*