එජාපෙ පිල් තුනක්-කරු පෙරට..!

Spread the love

(කෝසල කුරුවිට බණ්ඩාර)

එළඹෙන ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් මේ වන විට එක්සත් ජාතික පෙරමුණේ කණ්ඩායම් තුනක් මත තුනක් දරන බව දැන ගන්නට ඇත.

එක්සත් ජාතික පෙරමුණේ නායක සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, එම පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළ යුතු බව එක් පාර්ශ්වයක් යෝජනා කරමින් සිටින අතර තවත් පාර්ශ්වයක් යෝජනා කරමින් සිටින්නේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස, ජනාධිපති අපේක්ෂකයා කළ යුතු බවය.

මෙම අපේක්ෂකයින්ගේ නම් අතරට අලුතින්ම එක් වී ඇති යෝජිත අපේක්ෂකයා වන්නේ කතා නායක කරු ජයසූරිය මහතාය.

දැන ගන්නට ලැබෙන පරිදි එක්සත් ජාතික පෙරමුණු  ආණ්ඩුවට සහය දක්වන සිවිල් සංවිධාන නියෝජිතයන් කිහිපදෙනකු කරු ජයසූරිය මහතාට පසුගිය සතියේදී අදාළ යෝජනාව නිල නොවන මට්ටමින් ඉදිරිපත් කර ඇත.

පක්ෂය කඩා ගෙන එවැනි තීන්දුවක් ගැනීමට තමා සූදානම් නොමැති බවත්, පළමුව පක්ෂය තීරණයක් ගත යුතු බවත් එහිදී කරු ජයසූරිය මහතා පවසා ඇතත්, ජනාධිපති අපේක්ෂකයා වීමට තමා අකමැති බව ඔහු ප්‍රකාශ කර නොමැති බව සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයෙක් කීය.

එක්සත් ජාතික පක්ෂය  ප්‍රමුඛ කඳවුර ගොඩ නගන නව පුළුල් සන්ධානය හරහා නව ලාංඡනයකින් කරු ජයසූරිය මහතාව ඉදිරිපත් කිරීම වඩාත් වාසිදායක වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ  මන්ත්‍රීවරයෙක් ප්‍රකාශ කළේය.

එක්සත් ජාතික පක්ෂයට  ජනාධිපති අපේක්ෂකයන්ගේ හිඟයක් නොමැති බවත්, රනිල් වික්‍රමසිංහ, කරු ජයසූරිය, තමා සේම  සජිත් ප්‍රේමදාසද ඒ සඳහා සිටින බව එම පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක අමාත්‍යවරයා පසුගිය දා සඳහන් කර තිබිණි.

මේ අතර ජනාවාරි 28 වැනිදා ආණමඩුවේ පැවති “ජන අරගලයට යුක්තිය” උපහාර උළෙලේදී කතානායකවරයාට ප්‍රධානතම උපහාර සම්මානය පිරිනැමුණු අතර එහිදී ඔහු ප්‍රකාශ කර තිබුණේ දේශපාලනයෙන් තොරව ප්‍රජාතන්ත්‍රවාදය සහ දියුණු සමාජ ක්‍රමයක් වෙනුවෙන් පෙරට පැමිණෙන සිවිල් සමාජ සංවිධාන, රටට එම ගෞරවනීය තත්ත්වය ආරක්ෂා කරන ප්‍රධානතම බලවේගයක් බවය.

-රාවය-

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*