එජාපය මහ බැංකුව කොල්ල කෑ බව පිළිගනිමින් සජිත් ප්‍රේමදාස පක්ෂය පාවා දෙයි..!

Spread the love

“සජිත්ගේ කතාව ඇත්ත නම් රනිල්,මලික්,කබීර්,රවී ඉල්ලා අස්විය යුතුයි”

බැඳුම්කරයේදී සජිත් ඉන්නේ රනිල් එක්කද..? “මෛත්‍රී-මහින්ද” එක්කද..?

(සුජිත් මංගල ද සිල්වා)

රටක බැංකු කොල්ල කන්නේ වසලයින් වන අතර එම බැංකු ඇතුළු මුල්‍ය ආයතන ගොඩනගමින් ආරක්ෂා කරන්නේ බ්‍රාහ්මණයින්  බව  ප්‍රකාශ කරමින් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා තහවුරු කර සිටින්නේ  මහ භාණ්ඩාගාර බැඳුම්කර ගණුදෙනුව මඟින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන එම පක්ෂයේ නායකයින් ශ්‍රී ලංකා මහ බැංකුව කොල්ල කෑ බව යැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

බුදුන් වහන්සේ දේශනා කර වදාළ වසල සුත්‍රයේ ඇතුළත්, “නජජ්ජා වසලෝ හෝති නජජ්ජා හෝති බ්‍රාහ්මණෝ-කම්මනා වසලෝ හෝති කම්මනා හෝති   බ්‍රාහ්මණෝ” යන ගාථාව සිහි ගන්වමින් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා මේ ප්‍රකාශය කළේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම් වෙහෙර ප්‍රදේශයේ ඉදි කිරීමට යෝජිත නිවාස 75ක් සහිත උදාගම්මාන තුනක් සඳහා මුල්ගල තැබීම නිමිත්තෙන් බදාදා (17) පෙරවරුවේ පැවති උත්සවයකට එක් වෙමිනි.

මහ භාණ්ඩාගාර බැදුම්කර ගනුදෙනුව මඟින් ශ්‍රී ලංකා මහ බැංකුවට, රටට සහ ජනතාවට සවිඥානිකව රුපියල් කෝටි ගණනක  අති විශාල පාඩුවක් සිදු කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඍජුව චෝදනා නැගෙන්නේ එක්සත් ජාතික පක්ෂයට, එහි නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට, එම පක්ෂයේ සභාපති කබීර් හෂිම් සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාටය.   

මේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කෙරුණු ජනාධිපති විශේෂ විමර්ශන කොමිසම හමුවේ අසත්‍ය සාක්ෂි ලබා දුන්නේ යැයි එක්සත් ජාතික පක්ෂයේ උප නායක සහ එවක මුදල් අමාත්‍යවරයාව සිටි රවී කරුණානායක මහතාට ද චෝදනා එල්ල වී තිබිණ.

එක්සත් ජාතික පක්ෂයේ උපනායක රවී කරුණානායක මහතා දිගින් දිගටම තමාට එල්ල කළ දේශපාලන ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාරයක් ලෙස එම පක්ෂයේම නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා කළ මේ ප්‍රකාශයෙන් පැහැදිළි වන්නේ, මහ භාණ්ඩාගාර බැදුම්කර ගනුදෙනුව සම්බන්ධ එක්සත් ජාතික පක්ෂයේ මතය සහ  අධිකරණයේ ස්ථාවරයත් ඔහු නොදන්නා බව යැයි බොහෝ දේශපාලන විචාරකයින් පෙන්වා දෙද්දී තවත් දේශපාලන විචාරකයින්ගේ ස්ථාවරය වී ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතාගෙන් පිට වුයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශවයේ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශවයේ හඬ බවය.  

මහ භාණ්ඩාගාර බැදුම්කර ගනුදෙනුව මගින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන  එක්සත් ජාතික පක්ෂය මහ බැංකුව කොල්ල කෑ බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශවය සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශවය චෝදනා එල්ල කරද්දී, භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමට අදාළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාව අනුව රවී කරුණානායක මහතා ඇතුළු කිසිදු එක්සත් ජාතික පාක්‍ෂිකයෙකු භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවට සම්බන්ධ බවට අනාවරණය වී නොමැති බව කියමින් ඒ සියලු චෝදනා ප්‍රතික්ෂේප කර එක්සත් ජාතික පක්ෂය, එහි සභාපති කබීර් හෂීම් මහතාගේ අත්සනින් යුතුව 2018.01.31වැනි දා නිකුත් කළ නිල නිවේදනය මෙසේය.

“භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමට අදාළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාව අනුව රවී කරුණානායක මහතා ඇතුළු කිසිදු එක්සත් ජාතික පාක්‍ෂිකයෙකු භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවට සම්බන්ධ බවට අනාවරණය වී නොමැත. එසේ වුවද, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අයිතිකරුවන්ටම අයත් හා පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ පාලන කටයුතු මෙහෙයවන්නන් විසින්ම මෙහෙයවනු ලබන සමාගමක් වන වෝල්ට් ඇන්ට් රෝ පුද්ගලික සමාගම විසින් ගෙවන නිවාස බදු මුදල් නිසා, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අයථා ප්‍රතිලාභ ලැබූ බවට සිදු කළ නිගමනය අනුව ඔහුට විරුද්ධව අල්ලස් පනත හෝ වෙනත් යම් නීතියක් යටතේ කටයුතු කළ යුතුද නැද්ද යන්න නීතිපතිවරයා විසින් හා අල්ලස් කොමිසම විසින් නිගමනය කළ යුතු බවට ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව විසින් තීරණය කොට ඇත.

එසේම රවී කරුණානායක මහතා විසින් කොමිෂන් සභාව ඉදිරියේ අසත්‍ය සාක්‍ෂි ලබා දෙන ලද බව පෙනී යන හෙයින් ඒ පිළිබඳව පරීක්‍ෂා කොට, එසේ ඔහු විසින් ලබා දී ඇති සාක්‍ෂි අසත්‍ය නම් 1948 අංක 17 විමර්ශන කොමිෂන් සභා පනතේ 9 වගන්තිය සමග එක්ව කියවිය යුතු දණ්ඩ නීති සංග්‍රහයේ 169 වගන්තිය යටතේ හෝ 188 වගන්තිය යටතේ හෝ වෙනත් යම් නීතියක් යටතේ නඩු පැවරීමට පදනමක් තිබේද යන්න නීතිපතිවරයා විසින් හෝ වෙනත් නිසි අධිකාරියක් විසින් සලකා බැලිය යුතු බවටද කොමිෂන් සභා වාර්තාවේ සඳහන් වේ.

මෙම කරුණු සලකා බැලීමෙන් අනතුරුව රවී කරුණානායක මහතාට විරුද්ධව නඩු නොපැවරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා සහ හෝ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් හෝ අවසන් තීරණයක් ගනු ලබන තෙක් හෝ ඔහුට විරුද්ධව නඩු පැවරුවහොත්, එම නඩු කටයුතු අවසන් වන තෙක් ඔහු විසින් එක්සත් ජාතික පක්‍ෂයේ උප නායක තනතුරේ වගකීම් කිසිවක් නොදැරිය යුතු බවට එක්සත් ජාතික පක්‍ෂ නායකතුමන් විසින් පත් කරන ලද කමිටුව විසින් නිර්දේශ කොට ඇත. පෙබරවාරි මැද භාගයේදී පැවැත්වීමට නියමිත කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට මෙම කමිටු වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිතය.”

මේ අතර රවී කරුණානායක මහතාට විරුද්ධව නඩු නොපැවරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා සහ අල්ලස් කොමිසම අවසන් තීරණයක් ගන්නා තුරු  හෝ එම ආයතන  ඔහුට විරුද්ධව නඩු පැවරුව හොත්, එම නඩු කටයුතු අවසන් වන තුරු ඔහු එක්සත් ජාතික පක්‍ෂයේ උප නායක තනතුරේ වගකීම් කිසිවක් නොදැරිය යුතු බවට එම  පක්‍ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පත් කළ තිලක් මාරපන කමිටුව, සිය වාර්තාව මගින් ඉදරිපත් කර තිබූ නිර්දේශ 2018.03.29 වැනිදා සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී  අහෝසි කෙරිණ.

එම කමිටු වාර්තාව එසේ  අහෝසි කෙරුණේ මහ භාණ්ඩාගාර බැඳුම්කර සිද්ධියට අදාළව රවී කරුණානායක මහතා වැරදි කරුවකු කරනවා තබා ඔහුට විරුද්ධව මේ වන තුරු නඩුවක්වත් පැවරීමට චෝදනාකරුවන් අපොහොසත් වී සිටින තත්ත්වය හමුවේ යැයි එදා එක්සත් ජාතික පක්ෂය නිවේදනය කර සිටී අතර ඒ ප්‍රවෘත්තිය සියලු ජන මාධ්‍යවල ද පළ වී තිබිණ.

ඊට පසුව මහ බැංකු බැඳුම්කර ගනු දෙනුවට අදාළව කරුණු විමර්ශනය කෙරුණු විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ අසත්‍ය සාක්කි ලබා දුන්නේ යැයි චෝදනා එල්ල කරමින් ගොනු කළ නඩුවේ සැකකරුවෙකු ලෙස එක්සත් ජාතික පක්ෂයේ උප නායක රවී කරුණානායක මහතා නම් කළ නොහැකි යැයි  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අවධාරණය කර සිටියේ 2018.10.08 වැනිදාය.

අසත්‍ය ප්‍රකාශ නඩුවේ සැකකරුවකු ලෙස රවී කරුණානායක නම් කරනු බැහැ..! යන ශීර්ෂය යටතේ එම අධිකරණ තීන්දුව “lankanewsweek” එදා වාර්තා කළේ මෙසේය.

“මහ බැංකු බැඳුම්කර ගනු දෙනුවට අදාළව කරුණු විමර්ශනය කෙරුණු විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ අසත්‍ය සාක්කි ලබා දුන්නේ යැයි චෝදනා එල්ල කරමින් ගොනු කළ නඩුවේ සැකකරුවෙකු ලෙස එක්සත් ජාතික පක්ෂයේ උප නායක,කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා නම් කළ නොහැකි යැයි  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අවධාරණය කර සිටියේය.

මේ වන විට ලැබී ඇති සාක්ෂි අනුව රවී කරුණානායක මහතා එම  අසත්‍ය සාක්ෂි ලබා දීමේ නඩුවේ සැකකරුවෙකු ලෙස නම් කළ නොහැකි බව එම නඩුව අද (08) කැඳ වනු ලැබූ අවස්ථාවේදී අවධාරණයෙන් යුතුව කියා සිටිමින් තීන්දු කළ  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙසය ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

මහ බැංකු බැඳුම්කර ගනු දෙනුවට අදාළව කරුණු විමර්ශනය කෙරුණු විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ අසත්‍ය සාක්කි ලබා දුන්නේ යැයි චෝදනා එල්ල කරමින් රවී කරුණානායක මහතාට එරෙහිව මේ නඩුව ගොනු කරනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගිනි.

රවී කරුණානායක මහතාට අයත් බව කියන සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල වාර්තා ලබා ගෙන ඒ සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ ක්‍රියාත්මක කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර තිබෙන බව එහිදී පෙන්වා දුන් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා මේ සිද්ධියට අදාළ විමර්ශනවල ප්‍රගතිය පිළිබඳව මේ මස 22 වන දා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසට ද  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ ය.”

මේ අතර බැඳුම්කරයේ දේශපාලනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ පාර්ශවයට සහ මහින්ද රාජපක්ෂ කඳවුරට දැඩි දේශපාලන ප්‍රහාරයක් එල්ල කරමින් වයඹ විශ්ව විද්‍යාලයේ වාණිජ්‍ය සහ මුල්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා මහතා විශේෂ ප්‍රකාශයක් කර තිබූ අතර  2018.09.27 වැනිදා “බැඳුම්කර හොරා රවී නොවේ නම් ඔහු නිදොස් කොට නිදහස් කළ යුතුයි” යන ශීර්ෂය යටතේ “lankanewsweek” එම ප්‍රවෘත්තිය වාර්තා කළේ මෙසේය.

“බැඳුම්කර හොරා රවී කරුණානායක බව ඔප්පු වී නොමැති නම් ඔහු එම චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කර, ඇත්ත හොරා කවුරුන් ද කියා රටට හෙළි කරමින් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට සියලුම වග කිව යුතු බලධාරීන් වහාම පියවර ගත යුතු යැයි වයඹ විශ්ව විද්‍යාලයේ වාණිජ්‍ය සහ මුල්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා මහතා “lankanewsweek”වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ  ආචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා මහතා මෙසේ ද  කීය.

මහ බැංකු බැඳුම්කර ගනු දෙනුවට අදාළව කරුණු විමර්ශනය කෙරුණු ජනාධිපති විශේෂ විමර්ශන කොමිසම සහ එමගින් නිකුත් කෙරුණු විමර්ශන  වාර්තාව ඒ ඒ මැතිවරණ කාලවලදී පමණක් උඩට ගෙන හෝද හෝදා මඩේ ඔබන හුදු දේශපාලන වාසිය වගේම පැවැත්ම උදෙසා පාවිච්චි කරන උපකරණයක් බවට පත්ව තිබෙනවා.

මේ වාර්තාව,එමගින් හෙළි කෙරුණු කරුණුවලට අදාළව නීතිය ක්‍රියාත්මක කිරීමට සහ එම කරුණු ගැන ජන සමාජය ඉදිරියේ කතා කිරීමට ජනාධිපතිවරයා ඇතුළු බලධාරීන්ට මැතිවරණ සමයේ තිබූ උනන්දුව සහ හදිසිය අද නැති වී ගොස් තිබෙන්නේ ඇයි?

මේ සිද්ධියේ ප්‍රධානතම චූදිතයා වන හිටපු මහා බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා රටෙන් පැන ගොස් නිදැල්ලේ සිටින අතර අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පළිසේන යන මහත්වරුන් අත්අඩංගුවේ පසු වන අතර මේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිය නිවැරදිව ක්‍රියාත්මක වන බවක් නම් දිස් වන්නේ නැහැ.

මේ සිද්ධියට අදාළව ශ්‍රී ලංකා මහා බැංකු නිලධාරීන් ගණනාවකගේ ගෑවී තිබෙන අතර ජනාධිපති විශේහ්ස විමර්ශන කොමිසමේ වාර්තා මගින් එම නිලධාරීන්ට ද චෝදනා එල්ල වී තිබෙනවා.

එමෙන්ම අර්ජුන් ඇලෝසියස් සහ “පර්පෙචුවල් ට්‍රෙෂරීස්” සමාගමෙන් “චෙක්පත්”වලින් සල්ලි රුපියල් ලක්ෂ ගණනින් ගත් මැති ඇමතිවරුන් ඇතුළු මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනයක් ද හෙළිදරව් වී තිබෙන අතර සමහරුන් තමා එසේ සල්ලි ගත් බව ප්‍රසිද්ධියේ පළිගෙන ද තිබෙනවා.

මේ අතර මහා බැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළව තමා ජනමාධ්‍ය ඔස්සේ අසත්‍ය සංඛ්‍යා ලේඛණ රටට ජනතාවට ඉදිරිපත් කළ බව ඒකාබද්ධ විපක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ජනාධිපති විශේෂ විමර්ශන කොමිසම හමුවේ පාපෝච්චාරණය කරමින් පිළි ගත් බව ද අප කවුරුත් දන්නවා.

එසේ තිබියදී මේ සිද්ධිය සම්බන්ධයෙන් මෙසේ චෝදනා එල්ල වී පමණක් නොව එම චෝදනා ඔප්පු වී තිබියදී පවා මේ මහා බැංකු නිලධාරීන් සහ මැති ඇමතිවරුන් ඇතුළු මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරමින් පරීක්ෂණ සිදු කර ඒ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකරන්නේ ඇයි?

මේ සියලු දෙනා නිදැල්ලේ සිටියදී,අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හදිසියේම කළේ මේ සිද්ධිය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ උප නායක,හිටපු මුදල් අමාත්‍ය සහ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා ජනාධිපති කොමිසම හමුවේ අසත්‍ය ප්‍රකාශ කළා යැයි කියා ඔහුට විරුද්ධව පමණක් නඩුවක් පැවරීමයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගොනු කළ එම නඩුවෙන් ගම්‍ය වන්නේ මේ සිද්ධිය සම්බන්ධයෙන් රවී කරුණානායක මහතා ජනාධිපති කොමිසම හමුවේ අසත්‍ය ප්‍රකාශ ඉදිරිපත් කර ඇති බවට සැක කෙරෙන බව විනා ඔහු මහ බැංකු බැඳුම්කර ගනු දෙනුවෙන් හොරකම් කර නොමැති බවයි.

රවී කරුණානායක මහතා අත්අඩංගුවට ගෙන ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරමින් ඔහු සිර භාරයට පත් නොකරන්නේ ඔහු මේ ගනු දෙනුවට සම්බන්ධ වී එමගින් මහ ජන මුදල් සොරකම් කර ඇති බවට කිසිදු සාක්කියක් නොව චෝදනාවක් ද නොමැති නිසයි.

රවී කරුණානායක මහතා ජනාධිපති කොමිසම හමුවේ අසත්‍ය ප්‍රකාශ කළා යැයි කියන චෝදනාව සහ සැකය මත ඔහුට විරුද්ධව නඩු පවරනවා නම් රටේ මහත් ආන්දෝලනයට තුඩු දුන්,ජනතාව ඉතාම සංවේදී වූ සහ අතිශය සංකීරණ වගේම ප්‍රශ්නකාරී වූ එම ගනු දෙනුව සම්බන්ධයෙන් අසත්‍ය සංඛ්‍යා ලේඛණ ජනමාධ්‍ය ඔස්සේ රටට ජනතාවට අසත්‍ය ප්‍රකාශ ඉදිරිපත් කළ බව පාපෝච්චාරණය කරමින් එම කොමිසම හමුවේ සිය වරද පිළි ගත් බන්දුල ගුණවර්ධන මහතාට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන්නේ අයි?

එමගින් ගම්‍ය කිරීමට උත්සහ කරන්නේ මනුෂ්‍ය ඝාතනයක් හෝ සිදු කර වරද පිළි ගන්නේ නම් නීතියෙන් ඕනෑම අයෙකුට ගැලවී සිටිය හැකිය යන භයානක ආදර්ශය ද?

ඒ වගේම මේ ගනු දෙනුවට අදාළව ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් වාර්තාවේ නම් සඳහන් වන මහා බැංකු නිලධාරීන් අත්අඩංගුවට නොගන්නේ ඇයි? ඒ අයට එරෙහිව නඩු නොපවරන්නේ ඇයි?ඒ අයට මහා බැංකුවේ තව දුරටත් නිදැල්ලේ සිටීමට ඉඩ හැර තිබෙන්නේ කිනම් අයෙකුගේ කිනම් බලපෑම් මතද?

එපමණක් නොව අර්ජුන් ඇලෝසියස්ගෙන් සහ “පර්පෙචුවල් ට්‍රෙෂරීස්” සමාගමෙන් සල්ලි ගත් බව කියන මැති ඇමතිවරුන් ඇතුළු මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛණයක් එළියට ඇවිත් තිබෙන අතර සමහරුන් ඒ බව ප්‍රසිද්ධියේම පිළි ගෙන ඇතත් ඒ අය සම්බන්ධයෙන්ද නීතිය ක්‍රියාත්මක වන්නේ නැහැ.

බැඳුම්කර ගනු දෙනුවට අදාළ විශාලම පීඩනය සහ ලොකුම චෝදනාව එල්ල වූයේ ද,සියලු දෙනාගේම ඉලක්කය වූයේ ද රවී කරුණානායක මහතා වන අතර මේ චෝදනා හමුවේ පරෙක්ෂණවලට ඉඩ දී සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට ද ඔහුට සිදු වුණා.

කෙසේ නමුත් ඔහු එම ගනුදෙනුවෙන් මුදල් හොරකම් කර නොමැති බව සහ ඔහු ඊට දායක වී නොමැති බවට මේ වන විට තහවුරු වී තිබෙනවා.එවැනි චෝදනාවක් සම්බන්ධයෙන් ඔහුට නඩු නොපැවරෙන්නේ ඒ නිසා බව සාමාන්‍ය බුද්ධියක් ඇති ඕනෑම අයෙකුට තේරුම් ගත හැකියි.

එසේ නම් කාලයක් තිස්සේ හොරෙකු ලෙස හංවඩු ගැසූ රවී කරුණානායක මහතා එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමේ යුතුකමක්,වගකීමක් සහ සදාචාරයක් ඔහුට එම චෝදනා එල්ල කළ ජන සමාජයට,දේශපාලන බල අධිකාරියට වගේම නීතියට තිබිය යුතුයි.කරුණු නොදැන යමෙකුට චෝදනා එල්ල කර වරදක් සිදු වුණා නම් නිසි කරුණු දැන ගැනීමෙන් පසු තේරුම් ගන්නා එම වරද නිවැරදි කර ගැනීමට ද අප නිහතමානී විය යුතුයි.

ඕනෑම අයෙකුට සියල්ලට වඩා වටින්නේ සිය ආත්ම ගෞරවයයි.එමනිසා යමෙකුගේ අතින් තවත් අයෙකුගේ ආත්ම ගෞරවය කිසුදු පදනමකින් තොරව  විනාශ වුණා නම් ඒ බව අවසානයේදී හෝ තේරුම් ගත්තාට පසුව අගතියට ලක්වූ ඒ පුද්ගලයාගේ ආත්ම ගෞරවය රැක දීම ශිෂ්ඨ සම්පන්න මිනිසුන් ලෙස අප සියලු දෙනාගේම යුතුකම සහ වගකීම වනවා.

රවී කරුණානායක මහතා මෙසේ ඉලක්ක වී ඇත්තේ යම් අදිසි දේශපාලන හස්තයක අවශ්‍යතාවය සහ යම් යම් පාර්ශවයන්ගේ ගැලවීමේ අවශ්‍යතාවය මත බව මේ ක්‍රියාදාමය දෙස අවධානයෙන් යුතුව බලන දේශපාලනය ගැන සාමාන්‍ය දැනුමක් තිබෙන ඕනෑම අයෙකුට තේරෙන බව කිව යුතු අතර ඊට ඉඩ දී බලා සිටීම එක්සත් ජාතික පක්ෂයේ දේශාපලන අනාගතයට ද අගතිගාමී බව ද අවධාරණය කළ යුතුයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අපට කියන්න තිබෙන්නේ මේ පරීක්ෂණ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ හෝ වේවා නීතිපති දෙපාර්තමේන්තුවේ හෝ වේවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හෝ වේවා පොලීසියේ හෝ වේවා ඇඟිලි ගැසීම් තිබෙන බවට චෝදනා එල්ල නොකර රටේ නායකයා ලෙස සිය විධායක බලතල යොදවා මේ පරීක්ෂණ මන්දගාමී කර යට ගැසීමට ඉඩ නොතබා වේගවත් කරමින් වරදිකරුන්ට එරෙහිව කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි.

මේ මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් පුළුල් වෝහාරික පරීක්ෂණයක් කරන බව මහා බැංකු අධිපතිවරයා කියා සිටියත් එම පරීක්ෂණයට සිදු වූයේ කුමක් ද කියා කවුරුවත් දන්නේ නැහැ.මේ සියලු කරුණු කාරණා සහ ඊට වග කිව යුත්තේ කවුරුන් ද යන්න පළිබඳව ද පරීක්ෂණවල තත්ත්වය වගේම වරදිකරුන්ට එරෙහිව ගන්නා පියවර සම්බන්ධයෙන් ද දැන ගැනීමට ජනතාවට අයිතියක් තිබෙනවා.”

බුදුන් වහන්සේ දේශනා කර වදාළ වසල සුත්‍රයේ ඇතුළත්, “නජජ්ජා වසලෝ හෝති නජජ්ජා හෝති බ්‍රාහ්මණෝ-කම්මනා වසලෝ හෝති කම්මනා හෝති   බ්‍රාහ්මණෝ” යන ගාථාව සිහි ගන්වමින් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම් වෙහෙර ප්‍රදේශයේ ඉදි කිරීමට යෝජිත නිවාස 75ක් සහිත උදාගම්මාන තුනක් සඳහා මුල්ගල තැබීම නිමිත්තෙන් බදාදා (17) පෙරවරුවේ පැවති උත්සවයකට එක් වෙමින් කළ කතාව මෙසේය.

“නජජ්ජා වසලෝ හෝති නජජ්ජා හෝති බ්‍රාහ්මණෝ-කම්මනා වසලෝ හෝති කම්මනා හෝති   බ්‍රාහ්මණෝ”… ඒ කියන්නේ කවුරුවත් උපතින් බ්‍රාහ්මණයෙක් හෝ වසලයක් වන්නේ නැහැ යමෙකු බ්‍රාහ්මණයෙකු හෝ වසලයෙකු වන්නේ ක්‍රියාවෙනුයි. බැංකු කඩන්නේ වසලයෝ බැංකු හදන්නේ බ්‍රාහ්මණයෝ.ජනතා මුදල් හොරා කන්නේ පගා ගහන්නේ, අල්ලස් ගන්නේ වසලයෝ.”   

“ගියොත් ගිය තැන ඉවරයි. වගකීමක් බාර ගත්තොත් ඒ වගකීම විනාශයි. ජනතාව බලාපොරොත්තු වෙනව ආලෝකය නමුත් ලැබෙන්නෙ අන්ධකාරය.කවදාවක් බැංකු කඩල බ‍්‍රාහ්මණයෙක් වෙන්න බෑ. තමන් හෝ තම බිරිද යොදවා අල්ලස් ගැනීම බ්‍රාහ්මණ  ක‍්‍රියාවක් නොවෙයි.ඉතා ඉක්මනින් ලක්වාසීන්ට වසලයන් හා බ‍්‍රාහ්මණයන් තේරුම් ගැනීමට ප‍්‍රඥාව පහළ වේවා”

මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන්ගෙන් සහ පසු පෙළ මන්ත්‍රීවරු පිරිසකගෙන් “lankanewsweek” කළ විමසිමකදී සිය නම සඳහන් නොකරන ලෙස ඉල්ලා සිටිමින් එම කණ්ඩායම අවධාරනය කර සිටියේ  මහ භාණ්ඩාගාර බැදුම්කර ගනුදෙනුව සම්බන්ධ එක්සත් ජාතික පක්ෂ ස්ථාවරයට විරුද්ධව බරපතළ ප්‍රකාශයක් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව එක්සත් ජාතික පක්ෂයත් අග්‍රාමාත්‍ය රනිල වික්‍රමසිංහ, මලික් සමරවික්‍රම, කබීර් හෂීම් සහ රවී කරුණානායක යන මහත්වරුන් කොල්ල කෑ බවට සජිත් ප්‍රේමදාස මහතා  ඉඟි කිරීම තරයේ හෙළා දකින බවය.

සජිත් ප්‍රේමදාස මහතා කරන ඉඟියෙන් කියැවෙන  කතාව සත්‍ය නම් රනිල් වික්‍රමසිංහ, මලික් සමරවික්‍රම, කබීර් හෂීම් සහ රවී කරුණානායක යන මහත්වරුන් වහාම එක්සත් ජාතික පක්ෂයේ සිය තනතුරුවලින් ඉල්ලා අස්විය යුතු අතර එසේ නොවන්නේ නම් පක්ෂයේ ස්ථාවරයට එරෙහිව සජිත් ප්‍රේමදාස මහතා කළ මේ ප්‍රකාශය සම්බන්ධයෙන් නායක රනිල් වික්‍රමසිංහ මහතා දැඩි පියවර ගත යුතු බවද ඔවුහු අවධාරණය කර සිටිති.   

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා හම්බන්තොට ලුණුගම් වෙහෙරදී කළ එම ප්‍රකාශය මෙසේයි.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*