ඇමෙරිකානු ජනාධිපතිවරණයට ඉන්දීය සම්භවයක් ඇති කාන්තාවක්..!

Spread the love

 ඩිමොක්‍රටික් පක්ෂයෙන් කරළියට..!

ඉන්දීය සම්භවයක් සහිත ඇමෙරිකානු සෙනෙට් සාමාජිකාවක වන කමලා හැරිස් 2020 ඇමෙරිකානු ජනාධිපතිවරණය සඳහා ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් වන බව නිවේදනය කර තිබේ. ජනාධිපති ධූර අපේක්ෂකත්වයට ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත්ව සිටින 8 වැන්නා ඇයයි.

2016 වසරේදී කැලිෆෝනියාහි සෙනෙට් සභික ධූරයට පත් වූ ඇය, ඊට පෙර එම ප්‍රාන්තයේ නීතිපතිවරිය ලෙස සේවය කළාය.”මම මගේ රටට ආදරෙයි,” ඇය ABC පුවත් සේවයේ ගුඩ් මෝර්නිං ඇමෙරිකා වැඩසටහන සමග එක්වෙමින් පැවසුවාය.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිරන්තරයෙන් විවේචනයට ලක් කරන 54 හැවිරිදි කමලා හැරිස්, ඩිමොක්‍රටික් පක්ෂය තුළ නැගී එන තරුවක් ලෙස හඳුන්වා තිබේ.

එලිසබෙත් වොරන්, කර්ස්ටන් ගිලිබ්‍රෑන්ඩ්, තුල්සි ගැබාර්ඩ්, ජෝන් ඩෙලනි සහ ජූලියන් කැස්ත්‍රෝ ද ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට තරග වදින බව නිවේදනය කර තිබේ.

“අපේ රටේ අනාගතය රැඳී තිබෙන්නේ, ඇමෙරිකානු වටිනාකම් වෙනුවෙන් හඬ නගන ඔබ අතේ. ඒ නිසයි එක්සත් ජනපදයේ ජනාධිපති ධූරය වෙනුවෙන් මා ඉදිරිපත් වන්නේ,” ට්විටර්හි වීඩියෝවක් පළ කරමින් ඇය පවසා තිබේ.

කාන්තාවන් එක් අයෙකුට වැඩි සංඛ්‍යාවක් ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂක මූලික වටය සඳහා ඉදිරිපත්ව සිටින්නේ, පළමු වරටය.කාන්තාවන් සිව් දෙනෙකු අපේක්ෂකත්වයට ඉදිරිපත්ව සිටින මෙම ‘තරගය’ මේ වන විටත් වාර්තාගත එකක් වී හමාරය.

කමලා හැරිස් ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සඳහා නාම යෝජනා ලබා ගතහොත් ඇමෙරිකානු ජනාධිපතිවරණ ඉතිහාසයේ ප්‍රධාන පක්ෂයකින් නාම යෝජනා ලැබූ පළමු ඉන්දීය ඇමෙරිකානු මෙන්ම, අප්‍රිකානු ඇමෙරිකානු කාන්තාව බවට ඇය පත්වනු ඇත.වොෂිංටන්හි පිහිටි අප්‍රිකානු ඇමෙරිකානු විශ්ව විද්‍යාලයකදී සිය පළමු රැස්වීම අමතමින් සඳුදා ඇය පැවසුවේ, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රාජ්‍ය ආයතන වසා දැමීම හරහා ඇමෙරිකානුවන් ප්‍රාණ ඇපයේ තබාගෙන සිටින බවය.

කවුද මේ කමලා හැරිස්..?

ඇය 2014 වසරේ සිට 2011 වසර දක්වා සැන් ෆ්‍රැන්සිස්කෝහි දිස්ත්‍රික් නීතිඥවරියක ලෙස කටයුතු කළාය. පසුව 2011 වසරේදී ඇය කැලිෆෝනියාහි නීතිපති ලෙස පත් කරනු ලැබුවේ, එම තනතුරට පත් පළමු සුදු ජාතික නොවන කාන්තාව ලෙසය.2017 වසරේදී කමලා හැරිස්, කැලිෆෝනියාහි කනිෂ්ඨ සෙනෙට් සාමාජිකාවක ලෙස දිවුරුම් දුන්නාය.

Kamala Harris/Facebook

ඇය ජැමෙයිකානු පියෙකුට සහ ඉන්දීය මවකට දාව ඇමෙරිකාවේදී උපන් දියණියකි. ඇතැම් විවේචකයින් ඒ සම්බන්ධයෙන් ඇයට චෝදනා එල්ල කර තිබේ.”මගේ අනන්‍යතාව පාවිච්චි කරලා මාව නිහඬ කරන්න උත්සහ කරනවා,” ඇය මාධ්‍ය සාකච්ඡාවකදී පැවසුවාය.

ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු බ්‍රෙට් කැවනෝ (Brett Kavanaugh) ගබ්සාව පිළිබඳව දැරූ අදහස් සහ 2016 වසරේ පැවති ජනාධිපතිවරණයේදී රුසියානු අත පෙවීම් පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් දැඩිව ප්‍රශ්න කිරීම හේතුවෙන් ඇය ඩිමොක්‍රටික් පාක්ෂිකයින්ගේ දැඩි අවධානයට පාත්‍ර විය.

එහෙත්, 2016 වසරේදී ඉවත් වූ ඇයගේ ආධාරකරුවෙකුට එල්ල වූ ලිංගික අතවර චෝදනා සම්බන්ධයෙන් නොදැන සිටි බවට ඇයට දැඩි විවේචන එල්ල වී තිබිණි.කමලා හැරිස් සිය ප්‍රචාරක ව්‍යාපාරය එළඹෙන ඉරිදා (ජනවාරි 27) කැලිෆෝනියාහි ඕක්ලන්ඩ් නගරයේ පැවැත්වෙන රැලියකින් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

ඇය තමන් ජනාධිපතිවරණ අපේක්ෂක සටනට ඉදිරිපත් වන බව නිවේදනය කිරීම සඳහා හිතාමතා ම තෝරා ගෙන තිබුණේ, ජාතික නිවාඩු දිනයක් ලෙස සලකන ‘කනිෂ්ඨ මාර්ටින් ලූතර් කිං’ දිනයයි.”ආචාර්ය කිං නිසා නිරන්තරයෙන් මා ධෛර්යයක් ලබනවා,” ඇය පවසයි.

මීට වසර 47 කට පෙර නිව් යෝර්ක්හි චිසෝම් නමැති කාන්තාවක ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට තරග කළාය. පක්ෂය වෙනුවෙන් එම තරගයට ඉදිරිපත් වූ පළමු අප්‍රිකානු ඇමෙරිකානු කාන්තාව ඇය විය. ඇතැම් පිරිස් පවසන්නේ, කමලා හැරිස් චිසෝම් සිය ප්‍රචාරක කටයුතු සඳහා භාවිත කළ වර්ණ වන රතු සහ කහ වර්ණයන් භාවිත කරන බවය. මේ අතර, කමලා හැරිස් සිය නිල ලාංඡනය නිර්මාණය කිරීමේදී චිසෝම්ගේ ලාංඡනයෙන් (Chisholm logo) ආභාසය ලැබූ බව ඇයගේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකු බස්ෆීඩ් (Buzzfeed) වෙබ් අඩවියට පවසා තිබේ.

-BBC-

සිංහල සේවය

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*