ආණ්ඩුවට සාතන් කෙනෙක් ඕනා කර තිබේ..!

Spread the love

පසුගිය ආණ්ඩුවල හිටපු සාතන්වරු..!

ෆොන්සේකව සාතන්ට අන්දවන්න බැරිද..?

(උපුල් ජෝශප් ප්‍රනාන්දු)

2007 ඔක්තෝම්බර් 24 ජනප්‍රිය ගුවන්විදුලි සේවයක් වූ හිරු ගුවන්විදුලිය පුවතක් හෙළි කළේය. එහි සඳහන් වූයේ හම්බන්තොට රන්මිණිතැන්න ගම්මාන‍යේ දර කඩන්න ගිය ගම්වාසීන් එල්ටීටීඊ සාමාජිකයන්ව දැක ඇති බවත්, එල්ටීටීඊ සාමාජිකයන් ගම්වාසීන් පසුපස පන්නාගෙන ඇවිත් ඇති බවත්ය. හම්බන්තොට නොහොත් රාජපක්ෂලාගේ බලකොටුවට කොටි ඇවිත් ගහනවාා කියන පුවත ලැව් ගින්නක් සේ රට පුරා පැතිර ගියේය.

එවකට ජනාධිපති මහින්ද සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය මෙම පුවත ආරංචි වී නොසන්සුන් වූහ. ඔවුන් වහාම කළේ හිරු ගුවන්විදුලියට තර්ජනය කිරීමය. හිරු ගුවන් විදුලිය එම පුවත සාවද්‍ය පුවතක් බව ප්‍රකාශයට පත් කළේ ඉන් පසුවය. ඇත්තටම එම පුවත හිරු ගුවන් විදුලියේ ප්‍රාදේශීය වාර්තාකාරයා දුන් බොරු පුවතක් විය.

එකල හිරු ගුවන් විදුලියේ හිමිකරුගේ සහෝදරයා වූ දුමින්ද සිල්වා විපක්ෂය වූ එජාපයේ පළාත් සභා මන්ත්‍රීවරයෙකු විය. හිරු ගුවන්විදුලිය එජාපයට කඩේ යනවා කියා රාජපක්ෂලා සිටියේ කෝපයෙන් ‍‍ය. මේ පුවතින් තමන්වත්, ආණ්ඩුවත් අපහසුතාවයට පත් කරන්න ගොතපු කතාවක් යැයි හිතපු මහින්දගේ ආණ්ඩුව හිරු ගුවන්විදුලිය අයත් ඒබීසී ජාලයේ ගුවන්විදුලි සේවා පහක් තහනම් කළේය. ඔවුන්ගේ විකාශන බලපත්‍රය අවලංගු කරමින් මහින්දගේ ආණ්ඩුව කීවේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් එම තීරණය ගත් බව ය. මහජනතාව කුපිත කරවන පුවත් පළකරන හෝ විකාශය කරන මාධ්‍ය ගැන තම ආණ්ඩුව අවධානයෙන් සිටින බව ආණ්ඩුව කීය.

මහින්දගේ ආණ්ඩුව ගත් මෙම තීරණයත් සමග රටේ අනිකුත් මාධ්‍ය බය බිරාන්ත විය. යුද්ධයට අදාළ පුවත්, එල්ටීටීඊයට අදාල පුවත් පළ කරද්දී හෝ විකාශය කරද්දී මාධ්‍ය හිමියෝ දැඩිසේ පරෙස්සම් වූහ.

මෙයට වසර 11කට පෙර හරියටම 1996 එල්ටීටීඊයේ මහ බැංකු බෝම්බ ප්‍රහාරයට දින දෙක තුනකට පෙර මෙම ලියුම්කරු එල්ටීටීඊයේ නවතම යුධ උපාය ගැන ලිපියක් ලීවේය. එම ලිපිය නම් යාපනය අහිමිව සිටින එල්ටීටීඊය ඒ වන විට තමන්ට ආරක්ෂා කරගන්න භූමියක් නැති නිසා කොළඹ ආර්ථික මධ්‍යස්ථාන ඉලක්කකොට ප්‍රහාර එල්ල කරන්න මානබලන බව ය. නමුත් එම ලිපිය පළකිරීම පුවත්පත් ආයතනය ප්‍රතික්ෂේප කළේය. හේතුව එම ලිපිය මගින් ජනතාව බය කරන්න, කුපිත කරවන්න, රට අරාජක කරන්න උත්සාහ ගන්නා බවට මතයක් ආණ්ඩුව තුළ ඇති විය හැකි බව කීයමිනි.

එකල රාජ්‍ය ආරක්ෂක ඇමතිවරයා ලෙස සිටියේ කර්නල් අනුරුද්ධ රත්වත්තේ ය.මාධ්‍ය පමණක් නොව සිවිල් සංවිධාන, වෘත්තීය සමිති වගේම ප්‍රධාන විපක්ෂය වූ එජාපය ඇතුළු විපක්ෂයේ පක්ෂය ද ඔහුට තිබුණේ පුදුම බයකි. එවකට ජනාධිපතිනි චන්ද්‍රිකා සමග සාකච්ඡා කොට ඔහු මාධ්‍ය වාරණයක් පැනවීය. මාධ්‍යවල පළවීමට නියමිත පුවත් ඊට කලින් දින ආණ්ඩුව පුවත් වාරණය සඳහා පත්කළ නිසි බලධාරියාට යැවිය යුතුව තිබිණි. නිසි බලධාරියා පුවත් වාරණය කළ විට එම පුවත වාරණය කළ බව හෝ සඳහන් කිරීමට මාධ්‍ය බය විය.

මහින්ද රාජපක්ෂ ආණ්ඩු කාලයේ මාධ්‍ය බය වුණේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂටය. හිරු ගුවන් විදුලියේ බලපත්‍රය අහෝසි කොට මහින්දලා වැඩ ඇල්ලීය. හිරු ගුවන්විදුලිය අධිකරණයට ගියත් අධිකරණයේේ පිහිට වූයේ නැත. අධිකරණය ආණ්ඩුවේ තීරණය අනුමත කළේය. ඉන් පසු කවදාවත් මෙරට මාධ්‍යවල එල්ටීටීඊය පහරදීමට ඉන්නවාය කියන පුවත් පළ කළේ නැත.පළ කළේ එල්ටීටීඊය දුර්වල යැයි කියන පුවත් පමණය.

මේ වැඩේ මුලින්ම පටන්ගත්තේ බණ්ඩාරනායක මැතිනියය. 1970- 77 සමගි පෙරමුණු ආණ්ඩුව කාලයේ 71 කැරැල්ල මර්දනය කිරීමෙන් පසු කැරලිවලට උඩගෙඩි දෙනවා කියමින්මාධ්‍ය මර්දනය කළාය. ඇගේ ආණ්ඩුවේ මාධ්‍ය සිවිල් සංවිධාන, වෘත්තීය සමිති, ශිෂ්‍ය සංවිධාන විපක්ෂය බය කළ යකා වූයේ “ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායකය”. ඔහුට එකල කීවේ “සාතන්” කියාය. හැමෝම හිටියේ ඔහුට බය වෙලාය. ඔහු නොහිටින්න මැතිනියට රට ආණ්ඩු කරන්න බැරි වෙන්න ඉඩ තිබිණි. ඇගේ ආණ්ඩුවේ සාතන්ගෙන් හොඳටම බැට කාපු ජේ.ආර් 1977 බලයට ඇවිත් විධායක ජනාධිපති වී තමන්ම සාතන්ට ඇදගත්තේය.

එකල ජේ.ආර්.ගේ පින්තූරයත්,නහයත් සිගරට් කොටයකින් පිච්චුවා කියා ඒ පුච්චපු ශ්‍රී ලංකාකාරයාට උසාවි යන්න විය. ජේ. ආර්. සිටියේ මෙලෙස රැස් විහිදා ගෙන ය. ඔහු ළඟ ගවුෆර්ලා වැනි මාධ්‍යන්ගේ, කම්කරුවන්ගේ, ශිෂ්‍යයන්ගේ, විපක්ෂයේ, පක්ෂවල මයිල් කෙලින් කරවන පොලිස් නිලධාරීන් සිටියේය. පොල්ගහවෙල සුනිල් රන්ජන්ලාත් සිටියේය. ඔහු බලයට ආ ගමන් 1980 වැඩ වර්ජනය කඩාකප්පල් කොට ශ්‍රිලනිපයේ නායිකාව බණ්ඩාරනායක මැතිණියගේ සහ “සාතන්” නාමය පටබැඳී “ෆීලික්ස් ඩයස්” ගේ ප්‍රජා අයිතිය අහෝසි කොට විජයව හිරයට දමා ඇත්ත පත්තරයට සීල් තබා මුළු රටම බය කරගෙන රටේ පාලනය පටන් ගත්තේය.

1988 ජනාධිපතිවරණයයේ ජවිපෙ ඡන්ද වර්ජනයක් කොට ප්‍රේමදාසව දිනෙව්වේ ප්‍රේමදාස දුර්වලයෙක් කියා හිතාගෙනය. ආපු ගමන් ඔහු දුර්වලයෙක් සේ එල්ටීටීඊයටත් ජවිපෙට සාම සාකච්ඡා සඳහා ආරාධනා කරමින් ගියේය. ඇස් බැඳගෙන ඔවුන් කියන තැනකට එන්නම් කීවේය.ජවිපෙ රටේ යකා නැටුවේය. මාධ්‍යයත් යකා නැටුවේය. එන පොට හොඳ නැති බව තේරුම් ගත්තේ එවකට රාජ්‍ය ආරක්ෂක ඇමති රන්ජන් විජේරත්නය. ඔහු ප්‍රේමදාසගේ ආණ්ඩුවේ “සාතන්ට” ඇන්දේය. ඔහු පාර්ලිමේන්තුවේ කථා කරන විට විපක්ෂයේ මන්ත්‍රීවරුන් පවා බය බිරාන්ත විය.

ඔහු මාධ්‍ය සාකච්ඡාවට එන විට මාධ්‍යවේදීන් ප්‍රශ්න ඇසුවේ ගොතගහමින් ය. ඔහු ජවිපෙ මර්ධනය කළාට පසු රටම ඔහුට බය විය. රන්ජන් ඝාතනය වීමෙන් පසු එතැනට ආවේ සිරිසේන කුරේය. කුරේ රටම බය කලේ සොත්ති උපාලිලා හරහාය. දුර්වල යැයි කී ප්‍රේමදාස දකුණු ආසියාවේම බියකරුම නායකයා වුණේ එහෙම ය.

“එතකොට මේ ආණ්ඩුවේ සාතන් කවුද..?”

මේ ආණ්ඩුවටත් මේ රටටත් මෙහෙම වෙලා තියෙන්නේ මේ ආණ්ඩුවෙ සාතන්ලා නැති නිසාය. සාතන් කෙනෙක් හිටියානම් සහරාන්ලා බෝම්බ පුපුරුවන්න කලින් දෙවරක් සිතයි. වෘත්තීය සමිති වැඩ වර්ජනය කරන්න පෙර දෙවරක් හිතයි. රටේ විපක්ෂ නායකයා 13 වැනිදාට ගහනවා කියන්න පෙර දෙවරක් හිතයි.

මාධ්‍ය අද හෙට පහර දෙනවා කියා මිනිස්සු බය කරන්න පෙර, ඉස්කෝලේ යන්න එපා කියා සිසුන් බය කරන්න පෙර, දෙවරක් සිතයි. අද ළමයි ඉස්කෝලේ යා යුතුද නැද්ද, ගෙදර මිනිසුන් එළියට බැසිය යුතුද නැද්ද කියා තීරණය කරන්නේ මාධ්‍යය. මේ වගේ වෙලාවක මේ ආණ්ඩුවෙ ෆිලික්ස් ඩයස්,රන්ජන් රත්වත්තේ,ගෝඨාභය වගේ “සාතන්” කෙනෙක් සිටියා නම් මේ රට මෙහෙම ගිනි ගන්නේ නැත.

සහරාන්ගේ බෝම්බය වළක්වා ගන්න මෛත්‍රී-රනිල් ආණ්ඩුවට බැරි වුන ඒක විඳදරා ගන්න පුළුවන්. එහෙත් වයඹ පුරා පැතිර ගිය ජාතිවාදී කෝලාහලයට ආණ්ඩුවට සමාව දෙන්න බැරිය. මහසෝනලා මෙහෙම යකා නටන්නේ මේ ආණ්ඩුවේ “සාතන්” කෙනෙක් නැති නිසාය.

“ඇයි ෆොන්සේකාව සාතන්ට අන්දවන්න බැරිද..?”

ඇත්තටම මේ ආණ්ඩුව අන්ධයා මැණික් ගලට පයින් ගැහුවා සේ ගහන්නේ ෆොන්සේකාටය. ඔහු ආණ්ඩුවේ නීතිය සහ සාමය හෝ රාජ්‍ය ආරක්ෂක ඇමැති වූවානම් සහරාන් තවම තමිල්නාඩුවේය. දොස්තරවරු රෝහල්වලය. මාධ්‍ය තමන්ට ඕනෑ නිවුස් එක කියන්නෙ නැතුව රටට ඕනෑ නිවුස් එක දීලා මාධ්‍ය වැඩේ කරයි.වෘත්තීය සමිති හැමදාම වැඩ වර්ජන කරන්න යන්නේ නැත. විපක්ෂය වචන තෝරා බේරා කතාකරයි. මහසෝනාලා, නාමල් කුමාරලා තමන්ගේ වැඩක් බලාගෙන සිටි.

ආණ්ඩුවේ “සාතන්” කෙනෙක් හිටියනම් බෝම්බයෙන් සති හතරක් ගිහිල්ලත් ඇදිරි නීතිය දමා ගෙන රට පාලනය කරන්න ඕනා නැත. කඩ, ගෙවල් ගිනි තියන උන්ගේ, හතර හන්දි කඩනවා කියලා “සාතන්” කිව්වත් ඇතිය. රෑට කට්ටිය ගෙවල්වල බුදිය.

මේ කියන්නේ ආපසු සුදු වෑන් ඕනා කියලා නොවේ. 88-89 භීෂණය ඕනා කියලා නොවේ. මේ කියන්නේ ආණ්ඩුවක් ගෙන යන්න විෂ්ණු දෙවියෝ වගේම කාලි මෑණියොත් ඕනා කියන එකය.

මව්රට

-ගුරුදා විග්‍රහය-

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*