අසංවර ඇඳුම් විලාසිතා කාන්තා හිංසනයට හේතුවක්ද..?

Spread the love

(කුමාරි හේරත්)  

කාර්යාල කටයුතු නිමාවී කොල්ලුපිටිය දුම්රිය ස්ථානයට ගිය මම දුම්රියක් එනතුරු බලා සිටියෙමි. රක්ත වර්ණ වූ හිරු ඈත මුහුදේ ගිලෙමින් තිබිණි. මුහුදු සුළඟේ පහස විඳිමින් තැන තැන රංචු ගැසුණෝ ඔ​හේ දොඩමලු වෙති. ගතවූයේ නිමේෂයකි. හූ හඬ තළමින් වේගයෙන් පැමිණි දුම්රිය නතර වුණේය. කතාබහට සමුදුන් සියලුදෙනා ලහි ලහියේ දුම්රියේ එල්ලුණහ. මම ද පසෙක වූ දුම්රිය පෙට්ටියට නැග ගත්තෙමි. මුහුදු සීමාවට සමුදුන් දුම්රිය මීළඟට නතර වූයේ කොළඹ කොටුවේය.  

තප්පර ගණනක් තුළ දුම්රිය අතුරු සිදුරු නොමැතිව පිරී ගියේය. දහඩිය උෂ්ණයට නොදෙවෙනි ලෙස මත්පැන්වල දුර්ගන්ධයක් පැතිර ගියේය. එකිනෙකා මුහුණු හකුළුවා ගනිමින් වටපිට බලන්නට විය. තරුණ වියේ ළමයි කීපදෙනෙක් මත්වී සිටිති. ඔවුන් කොහේ හෝ පාටියකට ගොස් එන සැටිය. ටික වේලාවකින් දුම්රිය තුළ ඇතිවූයේ කසුකුසුවකි. ඒ කාන්තා පාර්ශ්වයෙනි.  

“කෑවා නම් බීවා නම් ඒ විදියට යන්න ඕන. මොන විකාරයක් ද මේ? ඇඟටමයි එන්නේ.”

එක් මැදි වියේ කාන්තාවක් බීමත් පුද්ගලයකු දෙස රවා බලමින් බැණ වැදුණාය.  

තවත් තරුණයකුගේ රතු වූ දෙනෙත් නතරව තිබුණේ කොට සායකින් සැරසුණු යුවතියකගේ දෙපා අසලය. ඇය අපහසුතාවයෙන් ඒ මේ අත ඇඹරෙමින් සිය අතවූ බෑගයෙන් දෙපා ආවරණය කරගත්තාය.  

දෙමටගොඩ පසුකරනවාත් සමගම තවත් වාග් ප්‍රහාරයක් එල්ල වූවේය.  

“මේ ඕයි.. තමුසෙලා හිතාගෙන ඉන්නේ ගෑනු ඉන්නේ තමුසෙලාට හේත්තුවෙන්න කියල ද? කෝච්චියේ යන ගෑනු තමුසෙලාගේ පොදු දේපළ නොවෙයි. තේරුණා ද?”  
ඒ කට සැර කාන්තාවකි. බීමත් පුද්ගලයෙක් කෝච්චියේ ගැස්සීමත් සමග ඇඟේ හැපී ඇත්තේය. මේ සිදුවීම් දෙස බලමින් තරුණ කොලු ගැටව් ටිකක් සිනා පහළ කරමින් සිටියහ. මැදිවියේ කාන්තාවෝ පිළිකුළෙන් මෙන් බලා මුහුණු කළු කරගත්හ.  

වැදගත් ලෙස හැඳගත් පිරිමි කීපදෙනෙක් තමන්ට අදාළ නැති දෙයක් දෝ සිතමින් අහක බලාගෙන පාඩුවේ ගමන් ගත්හ. ඒ අතර තවත් බවලතියෝ පිරිසක් මේ හා සමාන වූ සිදුවීම් පෙළක් පිළිබඳව අලුත් කතාවකට මුල පිරූහ.  

“ගිය සතියෙත් මේ වගේම සීන් එකක් වුණා බං. එදා නම් ඒ යකා කොල්ලන්ගෙන් හොඳටම ගුටි කාලා ඊළඟ ස්ටේෂන් එකෙන් බැහැලා ගියා.”

එක් තරුණියක් පැවැසුවාය.  

“මම දන්නේ නෑනේ ඒ කතාව. මොකද වුණේ?”

තවත් තරුණියක් ඇගෙන් විමසුවාය.  

“ගිය සතියේ අපි වැඩ ඇරිලා යනකොට තව කොල්ලෝ සෙට් එකක් කෝච්චියෙ නැගලා හිටියා. උන් කොහේ හරි ට්‍රිප් එකක් ගිහින් එන ගමන් වෙන්නැති. අපි ළඟ හිටපු එක කෙල්ලෙක් අත්කොට ස්කිනියකුයි ඩෙනිමකුයි ඇඳලා හිටියේ. ඒ කෙල්ල ළඟම ලස්සනට ඇඳගත්ත ටිකක් හැන්ඩි පාට කොල්ලෙක් කැරකි කැරකි හිටියා. ටික වෙලාවකින් මේ කෙල්ල මූණ රතු කරගෙන වටපිට බලන්න වුණා. අපිටත් ටිකක් තේරුණා මොකක් හරි වෙනවා කියලා. අපිත් ඇලට් එකේ හිටියේ. අපි කෙල්ලට අපේ සයිඩ් එකෙන් ඉඩ දුන්නා. එයා අපි ළඟට ඇවිත් හිටියේ.  

>ටික වෙලාවකින් අර කොල්ලා ආයෙත් අර කෙල්ල ළඟටම ළංවුණා. එහෙන් මෙහෙන් හේත්තුව දාන්න ගිහින් කොල්ලන්ගෙන් ගුටිකාලයි ගියේ. හැබැයි, අපිත් එක්ක හැමදාම යන අර මහත ඇන්ටි කෙල්ලට හොඳ ලෙක්චර් එකකුත් දුන්නා.”

“ඇයි ඇන්ටි මොකද කිව්වේ?”  

“ඇන්ටි කිව්වා, මේක ඔයාලගෙ පෞද්ගලික වාහනයක් නෙවෙයිනේ. මේවා පොදු ප්‍රවාහන සේවා. එක එක ජාතියේ අය යනවා. හොඳ නරක මිනිස්සු ඉන්නවා. ඒ නිසා එහෙන් මෙහෙන් කපාපු විකාර ඇඳුම් ඇඳගෙන මේවගෙ යන්න එන්න එපා. අම්මා ඔයාලට කියලා දීලා නැද්ද අද සමාජයේ හැටි, ගෑනු ළමයි අවස්ථාවට ගැළපෙන විදියට අඳින්නේ කොහොමද කියලා. තව තව දේවල් ඇන්ටි කිව්වා. කෙල්ලටත් ලජ්ජයි. වචනයක්වත් කිව්වෙ නෑ. සද්ද නැතිව අහගෙන හිටියා. මේවා ඉතින් කාට කාටත් හොඳ පාඩම්.”

මේ කතාව අසා සිටි මගේ සිතට ද මෙවැනිම සිදුවීමක් මතකයට ආවේය. එදා උදේ මම කාර්යාලයට යමින් සිටියෙමි. වාහන තදබදය නිසා ගමන බොහෝ කර්කශ විය. රෝද හතරේ වාහන පෝළිමේ තිබියදී යතුරුපැදි එහෙන් මෙහෙන් දමමින් ඉදිරියට ඇදී ආවේය. එක් බයිසිකලයක තරුණ යුවලක් සිටි අතර තරුණිය ඇඳ සිටියේ ඩෙනිම් කලිසමක් සහ කොට ටීෂර්ට් එකකි. බයිසිකලය යනවිට ටීෂර්ට් එක සුළඟට ඔබමොබ ගිය අතර තරුණියගේ පිට ප්‍රදේශය නිරාවරණ විය.  

ඔවුන්ට පිටුපසින් ගමන් ගත් තරුණයන් දෙදෙනකු රැගත් යතුරුපැදියකි. අතුරු පාරකින් මතුව ආ ඔවුන් දෙදෙනාගෙන් පිටුපස සිටි තරුණයාගේ අතේ සිකරට්ටුවක් විය.  ගතවූයේ තප්පර ගණනකි. සංඥා එළි දැල්වෙනවාත් සමගම තරුණයින් දෙදෙනා තරුණිය හා තරුණයා ගමන්ගත් යතුරුපැදිය පසුකර වේගයෙන් ගමන් ගත්තේය.

එහෙත් පසුපස යතුරුපැදියේ වාඩිවී සිටි තරුණිය වේදනාවෙන් ඇඹරෙන්නට වූවාය. අවට සිටි අය සිදුවූවේ කුමක්දැයි විචාලෝය. පෙර ගමන්ගත් පසුපැදිකරුවා ඔහුගේ අතේ දැල්වෙමින් තිබූ සිකරට්ටුවෙන් තරුණියගේ පිට ප්‍රදේශය පුලුස්සා ගොස් තිබිණි. සැබැවින්ම ඔහු කරන ලද්දේ අමානුෂික ක්‍රියාවකි. එය කිසිසේත්ම අනුමත නොකළ යුතුය.

එහෙත් නිවසින් එළියට බසින තරුණිය ද තමන් මහජනයා ගැවසෙන මහමග ගමන් ගන්නේය යන සිහිනුවණ ඇතුව ගමනට උචිත පරිදි ඇඳුම් ඇදීමට වගබලාගත යුතුව තිබිණි.  
සැබැවින්ම මෙවන් වූ ඛේදවාචක දවසින් දවස වැඩිවෙමින් පවතී. විශේෂයෙන්ම කාන්තා පාර්ශ්වය කාමුක හිංසනයන්ට පත්වන්නේ වයස් බේදයකින් තොරවය. මිත්තණියන්, අම්මාවරුන්, තරුණියන්, කුඩා දැරියන් අසහනකාරයන්ගේ ගොදුරු බවට පත්වූ අවස්ථා එමටය. ගෝලීය ආර්ථික රටාවත් සමග සමාජ මාධ්‍ය පුද්ගල ජීවිතවලට අසීමාන්තිකව බද්ධ වී ඇත්තේය. දැන්වීම්කරණය, විලාසිතා, අසභ්‍ය දර්ශන ජීවිත මංමුලාවට පත්කර ඇත.  

වයස නොහඳුනන, ඥාතීත්වය නොහඳුනන, සාරධර්ම නොදන්නා සමාජ ක්‍රමය එහි ප්‍රතිඵලයයි.  

එවන් වූ වාතාවරණයකදී තැනක් නොතැනක් නොබලා වයසට නොගැළපෙන ලෙස කරන ශරීරය නිරාවරණය කරන විලාසිතා ද අසහනශීලී මානසිකත්වයක් ඇති පුද්ගලයන්ට අපචාර සඳහා අැරයුම් කරන බවක් දක්නට ලැබේ.මෙවන් වූ පසුබිමකදී අසංවර විලාසිතා කාන්තා කාමුක හිංසනයට හේතුවක් ද යන මැයෙන් කතා කිරීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අපරාධ විද්‍යාව හා අපරාධ යුක්තිය අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නෙරංජි විජයවර්ධන මහත්මිය සම්බන්ධ කරගත්තෙමු.  


ආචාර්ය නෙරංජි විජයවර්ධන   


“ලිංගිකත්වය යනු උත්පත්තියත් සමගම සෑම අයකුටම ලැබෙන ස්වභාවයක්. ඒත් වැඩිපුරම ලිංගික හිංසනයන්ට ලක්වන්නේ කාන්තාවන්. එයට විවිධ හේතු බලපා තිබෙනවා.

අතීතයේ සිටම ස්ත්‍රී පුරුෂ සමාජභාවය පැවැතුණා. පුරුෂයා තමයි වැඩි වගකීමක් ගනිමින් පවුලේ ගෘහමූලිකයා ලෙස සමාජ කාර්යයට දායක වුණේ. දඩයම් යුගයේදී තියුණු දෘෂ්ටිය ශක්තිමත් බාහු ඇති පුරුෂයා දඩයමට යෝග්‍ය වුණා. පිරිමියා තම ශක්තිය තුළින් ආර්ථිකය ගොඩනගනකොට ගැහැනිය නිවසේ කටයුතු කරමින් දරුවන් රැකබලා ගත්තා.

මෙලෙස ගොඩනැගුණු පුරුෂාධිපත්‍යය අද දක්වාම පැමිණෙනවා. පවුල් සංස්කෘතිය යුතුකම් වගකීම් ඉටුකිරීමෙහිලා එය ඉතා හොඳ බැඳීමක්. ඒත් මාක්ස් වැනි සමාජ විද්‍යාඥයන් විග්‍රහ කළේ මුලින්ම කාන්තාව සූරාකෑමට ලක්වන්නේ පවුල තුළින්ම බවයි. අදටත් සම්ප්‍රදායික පවුල තුළ මව පියා අතර වගකීම් බෙදීමේ ගුණාත්මක පැතිකඩ අපි දකිනවා.  අතීතයේ සිට පැවැත ආ පිරිමියාගේ බලගතුකම පමණම ද කාන්තා ලිංගික හිංසනයට බලපාලා තියෙන්නේ කියන කාරණය අපි තර්කානුකූලව සොයා බැලිය යුතුයි.  

අපේ ජනශ්‍රැතියේ සඳහන් වෙනවා පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්වා සර්වාභරණයෙන් සැරසුණු කාන්තාවකට තනිව නිරුපද්‍රිතව ගමන් කළ හැකිව තිබුණ බව.  එදා එහෙම ආරක්ෂාවක් තිබුණේ ඇය අද වගේ අඩනිරුවතින් නොගිය නිසා වෙන්නත් පුළුවන්. මෙවැනි පසුබිමකදී අපි සොයා බැලිය යුතුයි අපි විසින්ම ඇතිකර ගත් ස්වයංවිනය, ආකල්ප සහ පාලනමය වෙනස්කම් පිළිබඳව.   

කෙනෙක් තර්ක කළ හැකියි පිරිමියකුට මෙන්ම ගැහැනියකට තමන් කැමැති විදියට සමාජයේ ජීවත්වෙන්න අවස්ථාව සැලසිය යුතුයි කියලා. හැබැයි ඒ හැසිරීම් තුළින් යම්කිසි සමාජයක තිබෙන ධර්මතා හා අගනාකම් විනාශ නොවිය යුතුයි.  

>තවත් කෙනෙක් චෝදනා කරන්න පුළුවන් අපි යල්පැන ගිය සම්ප්‍රදායික දෘෂ්ටියකින් කතා කරනවා කියලා. නමුත් මේකේ තියෙන බලගතුම දේ තමයි වර්තමානය තුළ තිබෙන සංස්කෘතික වෙනස. ලිංගිකත්වය කියන දෙය ඇතැම්විට ඇහෙන් දකින දේ තුළ නිර්මාණය වෙන්න පුළුවන්.   

ඒ නිසයි කොච්චර කාන්තාවෝ අඩනිරුවතින් ඇන්දත් කමක් නෑ එය බලන කෙනාගේ දෘෂ්ඨියේ ඇති වැරැද්දයි මෙයට බලපාන්නේ කියන මතය මතු​ෙවන්නේ. ඒකත් එහෙම විය හැකියි.  

බටහිර සමාජය සමග ලිංගිකත්වය කියන කාරණය සංසන්දනය කර බැලීමේදී දැකගත හැකි වෙනස්කම් රාශියක් තිබෙනවා. විශේෂයෙන්ම ඒ රටවල කුඩා දරුවන්ට ලිංගිකත්වය කියන එක සාමාන්‍ය කාරණයක් කරලයි සමාජානුයෝජනයට ලක්වන්නේ. සමහර වෙලාවට විවාහයට පෙර එකට ජීවත්වීම, ගැටවර වයස පසුවෙනවාත් සමගම පවුලෙන් වෙන්වී වෙන වෙනම ඔවුන්ට ජීවන අත්දැකීම් ලබාගැනීමට සලසාදීම, වැනි දේත් සමග ඔවුන්ට ලිංගිකත්වය සාමාන්‍ය දෙයක් වී තිබෙනවා.  

අපේ සංස්කෘතිය තුළ නම් මේ තත්ත්වය වෙනස්. විවාහ වෙන වයස වෙනකම්ම මව්පියෝ දරුවන්ට රැකවරණය දෙන්න සූදානම් වෙලා ඉන්නේ. අපි තවමත් සම්ප්‍රදායන් අගනාකම් සමග ජීවත්වෙන පෙරදිග පවුල රැකගන්නා ජාතියක්. එහෙම රටක අපි බටහිරින් ගේන හැමදෙයක්ම වැළඳගන්න ඕනෙ ද?  

අද බොහෝ කාන්තාවන් තමන්ට නොගැළපෙන අසංවර විලාසිතා ඇඳ පැළඳගෙන පොදු ස්ථානවල ගැවැසෙනවා. මෙවැනි දේ නිසා කුඩා දරු දැරියන් පවා ලිංගික භාණ්ඩ ලෙස දකින පිරිසක් ඉන්නවා. යමෙක් කියනවා නම් අපි අඳින්නේ අපිට ඕන විදියට, එයට නිදහස තිබිය යුතුයි කියලා, එ් අය හිතන්න ඕන අද තියෙන්නේ හැමදේම අලෙවි වෙන මිලක් තිබෙන සමාජයක් කියන එක.  

එදා ගැහැනිය ගැන ලියවුණු කවි ගීත සුන්දරයි. අර්ථාන්විතයි. විශේෂයෙන්ම ගැහැනියගේ පියයුරු වර්ණනා කිරීමේදී අම්මා කෙනකු ලෙස ළමැදේ පිරෙන කිරි පිළිබඳවයි කිව්වේ. එතැන තිබුණේ මව් සෙනෙහස, ගෞරවය. ඒත් අද ලියැවෙන ඇතැම් ගීත ඊට හාත්පසින්ම වෙනස්. එය වෙළෙඳපොළ තුළ රාගය උද්දීපනය කරන භාණ්ඩයක් කරගෙන තිබෙනවා. ඒ බයිලා ගීත තුළින් අැය සරාගී චරිතයක් කර තිබෙනවා. එවැනි සමාජයක ප්‍රේමය අර්ථ දක්වන්නේ කො​ෙහාම ද?  

>ගම්පෙරළියේ නන්දාගේ ප්‍රේමය තුළ කොතරම් ගෞරවයක් හික්මීමක් තිබුණා ද? එදා සාහිත්‍යය කියලා දුන්නේ ආකල්පමය සංවර්ධනයක්.  

ඒත් අද දරුවෝ ආදරය පටන් ගත්තෙම හෝටල් කාමරයකින්. ලිංගිකත්වය මුල්කරගෙනයි ආදරය කරන්න පෙළඹෙන්නේ. එවැනි සමාජයක ජීවත්වෙන අය කාන්තාව වෙළෙඳ භාණ්ඩයක් කරගෙන කියන බයිලා සිංදු අහන අය, අසම්මත වීඩියෝ බලන අය, කාන්තාව ලිංගික හිංසනයට පත් නොකරනවා යැයි කියන්නේ කොහොම ද?  

එවැනි පසුබිමකදී අඩනිරුවත් විලාසිතා කරගෙන යන ගැහැනියට යම් යම් කරදරවලට මුහුණදීමට සිදුවන එක අද සාමාන්‍යකරණය වී තිබෙනවා. අපි විලාසිතා කළ යුතුයි. හැබැයි අපි ඒ අවස්ථාව ස්ථානය පිළිබඳ අවබෝධයෙන් සිටිය යුතුයි. විශේෂයෙන්ම බස් එකේ කෝච්චියේ යනකොට බාගෙට ඇඳගෙන යනව ද? ඒ විලාසිතා නිසා තමන් අපහුතාවයට පත් නොවෙයි ද කියලා තමන්ම කිරලා මැනලා බැලිය යුතුයි.  

යමෙක් හිතනවා නම් බාගෙට ඇන්දම හරි පොෂ් කියලා එය මිත්‍යාවක්. වී කරලක් පැහෙනකොට බිමට නැමෙනවා වගේ කාන්තාවකගේ ලස්සන තිබෙන්නේ ඇගේ තිබෙන විනීතකම අඳින පළඳින විදිය අනුවයි. සමාජය ගෞරව කරන්නේ එවැනි අයටයි.  

ඒ නිසා මම විශේෂයෙන් කියනවා රාත්‍රී කාලයන්හි හෝ පොදු ප්‍රවාහන සේවාවලදී සිදුවන කාන්තා අතවරවලට අභිප්‍රේරණයක් ඒ පාර්ශ්වයෙනුත් තියෙනවා කියලා. අපි වින්දිතභාවය පිළිබඳව කතා කරනකොට ජීවන විලාසිතා න්‍යාය, දෛනික ක්‍රියාකාරකම් න්‍යාය පිළිබඳව කතා කරනවා. ඉන් කියන්නෙත් යම්කිසි වින්දිතයෙක් ලිංගික හිංසනයන්වලදී අභිප්‍රේරණය දනවන විදියට අනුගමනය කරන ජීවන විලාසිතාව ඊට හේතු පාදකවන බවයි.

(උදාහරණ ඇඳුම් අඳින විදිය, ජීවන චර්යාව, ආශ්‍රය කරන යාළුවෝ, සමාජශාලා.)

අපි ජීවත්වන්නේ හුදකලාව නොවෙයි. පුද්ගලයන් සමූහයක එකතුවකින් සමාජය නිර්මාණය වෙලා තිබෙන්නේ. ඒ සමාජය පවතින්නේ තරමක අගනාකම් හා නීතිරීතිවලට යටත්වයි. විශේෂයෙන්ම කාන්තාවන් මතක තබාගත යුතුයි එදා සර්වාභරණයෙන් සැරසී තනිව දෙවුන්දරතුඩුවේ සිට පේදුරුතුඩුවට ගිය කාන්තාව එසේ ගියේ අඩනිරුවතින් නොවන බව.  

ඒ නිසා කුඩා කාලයේ සිටම විලි වසාගෙන සංවරව ඇඳුම් පැළඳුම් ඇඳීමට සිතට ගත යුතුයි. එය ගොඩේකමක් නොවෙයි. එය සංවරකමක්. අඩනිරුවත නොපෙන්වා අලංකාර විලාසිතා කළ හැකියි.  

අද සමාජයේ ඉන්න පිරිමින් ද අවධානයට ගත යුතු කරුණු තියෙනවා. ඇතැම් පිරිමි තමන්ගේ පවුලෙන් ඈත්වෙන අයථා සබඳතා ගොඩනගා ගන්නවා. සම්බාහන ආයතන මුවාවෙන් කරගෙන යන ගණිකා නිවාසවලට යනවා. සමාජ මාධ්‍යවල ඇති අසභ්‍ය වීඩියෝ බලනවා. මේ හැමදේකින්ම ලිංගිකත්වයයි අලෙවි වෙන්නේ. ඔවුන් නොදැනුවත්වම සමාජ රෝගවලට ගොදුරු වෙනවා. ​ෙහාඳට තිබෙන පවුල් කඩා ඉහිරෙනවා. මේ කරුණු අවබෝධයට ගත යුතුයි. සංවර්ධනය කළ යුත්තේ ආකල්පයි.  

ජපානය වගේ රටවල් හතරේ පන්තිය වෙනකල් විෂය කරුණු උගන්වන්නේ නෑ. ආකල්පමය සංවර්ධනයයි කරන්නේ. ඒත් අපේ රටේ දරුවන් පෙරපාසල් කාලයේ සිටම ශිෂ්‍යත්ව තරගයටයි ලැහැස්ති කරන්නේ. ඒ වගේම සීමා මායිම් දාලා ලිංගිකත්වය කියන එක වහලා තබනවා. ළමයින්ට ඒ පිළිබඳව ඇත්තේ ලොකු කුතුහලයක්. පීඩාකාරී අධ්‍යාපන රටාව හා තාක්ෂණ සමගින් දෙන වැරදි ලිංගික අවබෝධය නිසා ළමයි සමාජ විරෝධී පෞරුෂයකින් යුතුව ඇති දැඩි විය හැකියි. ඒ තුළිනුත් සිදුවන්නේ අපරාධ.

ලිංගික හිංසනය, ලිංගික රෝග, සමාජ අපගාමී ක්‍රියා, මෙහි අවසන් ප්‍රතිඵලයයි. ඒ නිසා ලිංගික අධ්‍යාපනය අද කාලීන අවශ්‍යතාවක් බව පේනවා. මේ තත්ත්වය තේරුම් අරගෙනයි කාන්තාවෝ විලාසිතා කළ යුත්තේ.”



ලිංගික හිංසන හා ළමා අපයෝජන පිළිබඳ සංඛ්‍යාත්මක දත්තයන්  
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී  
රුවන් ගුණසේකර  


“2018 වසරේදී ස්ත්‍රී දූෂණ තොරතුරු 1786ක් වාර්තා වූ අතර 1714ක් මේ වනවිට විසඳා අවසන්. වයස 16ට අඩු කැමැත්තෙන් දූෂණයට ලක්වූ ළමයි ප්‍රමාණය 1190ක් ලෙසත් 16ට අඩු අකමැත්තෙන් දූෂණයට ලක්වූ ළමයින් ප්‍රමාණය 255ක් ලෙසත් වාර්තා වෙනවා. දූෂණයට ලක්වූ 16ට වැඩි කාන්තාවන්ගේ ප්‍රමාණයට 341ක්.   

ළමා හා කාන්තා කාර්යාංශයට වාර්තා වූ සංඛ්‍යා ලේඛන අනුව 2018 වසරේදී ළමා ලිංගික අතවර 1332ක් සිදුවූ අතර ඉන් 587ක් විසඳලා තිබෙනවා. ළමයින්ට බැණ වැදීම්, බිය ගැන්වීම් හා තර්ජනය කිරීම් 17ක් වාර්තා වුණා. ඉන් 6ක් විසඳලා තිබෙනවා. ළමයින්ගෙන් අයුතු ලෙස ලිංගික ප්‍රයෝජනය ගැනීම් 27ක් වාර්තා වුණා. ඉන් 17ක් විසඳලා තිබෙනවා.

බරපතළ ළමා ලිංගික අපයෝජන 670ක් වාර්තා වුණා. ඉන් 276ක් විසඳලා තිබෙනවා. ළමයි කෲරත්වයට පත්කිරීම් 110ක් වාර්තා වූ අතර ඉන් 51ක් විසඳලා තිබෙනවා.  

කාන්තා ලිංගික අතවර 2312ක් වාර්තා වූ අතර 1093ක් විසඳලා තිබෙනවා. බැණ තර්ජනය කිරීම් 262ක් තුළින් 119ක් විසඳලා තිබෙනවා. බරපතළ ලිංගික අපයෝජන 33ක් අතරින් 12ක් විසඳලා තිබෙනවා.”


තිළිණ ලක්ෂාන් හෙට්ටිගමගේ – මෝස්තර නිර්මාණ ශිල්පී  


ලාංකීය කාන්තාවන්ගේ ඇඳුම් විලාසිතා කෙබඳු විය යුතු ද?  

“මම මෝස්තර නිර්මාණ ශිල්පියෙක්. අපේ ලංකාවේ ඇඳුම්වලට වෙනම අනන්‍යතාවක් තිබෙනවා. අපි සංචාරකයන්ට වඩා වෙනස් විදියට අඳින්න ඕන. මෝස්තර කරන්න ඕන මෙහෙට ගැළපෙන විදියටයි. පොදු ස්ථානවල ගැවසෙන කාන්තාවෝ තමන්ගේ ආරක්ෂාවට ගැළපෙන ආකාරයටයි ඇඳුම් අඳින්න ඕන.”

කොටට අඳින ගෑනු ළමයි ඇත්තටම පොෂ් ද?  

“එහෙම නෑ. පෞද්ගලික වාහනවල යන අය ඒ අවස්ථාවලට ගැළපෙන ඇඳුම් අඳිනවා. ඒත් පොදු ස්ථානවල කොටට ඇඳගෙන යනකොට සිද්ධවෙන්නේ වෙනත් දේවල්. ඒ වගේ අය දිහා බලන්නෙත් වෙනස් ආකාරයට. ස්මාර්ට් හා ප්‍රොෆෙසනල් විදියට අඳින්න. ඇඟ එළියේ දාගෙන අඳින්න අවශ්‍ය නෑ. පොෂ් කියලා හිතාගෙන කොට සායවල් ඇඳගෙන ගිහින් තමන්මයි අමාරුවේ වැටෙන්නේ.

සමහර ගෑනු ළමයි සීට් එකක වාඩිවුණත් සාය ඇද ඇද හරි අපහසුවෙන් ඉන්නේ. තමන්ට මැච් වෙන ලස්සන ඇඳුමක් තෝරගත්තම ඉවරනේ.  නොගැළපෙන විලාසිතාවක් කරගෙන ගියොත් මගෙ ඔළුවට එන්නේ එහි ඇති නොගැළපීම. ඕපන් අඳින එක ෆැෂන් එකක් වෙන්නේ නෑ. එහෙම අඳින කෙනාටමයි එය ප්‍රශ්නයක් වෙන්නේ.”

පොදු ස්ථානවල බාගෙට ඇඳගෙන හැසිරෙන කාන්තාවන් දෙස පිරිමි බලන්නේ කොහොම ද?  

“එවැනි විලාසිතා කරන අය දැක්කම ඒ අය මොන වගේ අය ද කියලා මිනිස්සු පෙනුමෙන්ම මැනගන්නවා.  

කොල්ලෝ හිතන්නේ මෙච්චර සෙනඟක් මැද්දේ එහෙම ඉන්න පුළුවන් කියන්නේ එයාට ඇත්තටම ලජ්ජාවක් නෑ කියලා. එහෙම අයට ඔටෝ සීල් එකක් වදිනවා.”  

කොල්ලෝ ආදරය කරන්න හෝ විවාහ වෙන්න කැමැති මොන වගේ කෙල්ලන් සමග ද?  

“කොල්ලෝ කැමැති සරල හොඳ ගතිගුණ තියෙන ලජ්ජා භය තියෙන අයටයි. අනවශ්‍ය විදියට කොල්ලන්ගෙ ඇඟේ එල්ලෙන බොරු පොෂ් එකක් ඇඳුමෙන් පෙන්නන්න හදන කෙල්ලන්ව ආශ්‍රය කරන්නේ විනෝදෙට. එහෙම අයට කොල්ලෝ 99%ක්ම ආදරේ කරන්නේ නෑ.”

(ලංකාදීප)

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*